පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී 2021 වසරේදී අබිරහස් ලෙස මියගිය ඉෂාලිනී ජූඩ් කුමාර් දැරියගේ මරණය සම්බන්ධ නඩුවේ සාක්ෂි දෙමින්, 1990 සුවසැරිය ගිලන්රථ සේවයේ ප්‍රථමාධාර නිලධාරිනී අසලි උපේක්ෂා මහත්මිය කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සංවේදී තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලිලාන් වරුසවිතාන මහතා හමුවේ පසුගිය 28 වනදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇය මෙම සාක්ෂි ලබා දී ඇත.
තොරතුරට අනුව අදාළ නිවසේ ගරාජය දෙසින් ඇතුළු වූ අවස්ථාවේ, පඩිපෙළ මත භාවනා කරන ඉරියව්වෙන් වාඩි වී සිටි දැරිය දැකගත හැකි වූ බවත්, ඒ වන විටත් ඇගේ සිරුරේ ඇඳුම් නොතිබූ අතර බෙඩ්ෂීට් එකක් පමණක් පොරවා තිබූ බවත් සාක්ෂිකාරිය ප්‍රකාශ කර තිබේ. එම අවස්ථාවේදී පිළිස්සුම් ගඳක්ද දැනුණු අතර දැරියගේ ගෙල, පපුව, දෑත් සහ පාදවල දරුණු ලෙස පිළිස්සුම් තුවාල දක්නට ලැබුණු බව ඇය සඳහන් කර තිබේ. දැරිය තමාගෙන් වතුර ඉල්ලා සිටි බවත්, ඊට වඩා යමක් නොපැවසූ ඇයව පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව දැනගත් බවත්, මරණයෙන් පසුව පොලිසිය තමාගෙන් කටඋත්තර ලබාගත් බවත් නිලධාරිනිය වැඩිදුරටත් සඳහන් කර තිබේ. එසේම, සුවසැරිය වෙත ලැබෙන සියලු ඇමතුම් පටිගත වන බැවින් මෙම සිදුවීමට අදාළ ඇමතුමද පටිගත වී තිබිය යුතු බව 1990 සුවසැරිය ගිලන්රථ සේවයේ ප්‍රථමාධාර නිලධාරිනී පවසා ඇත.
119 දුරකථන අංකය ඔස්සේ ලැබුණු මුල් ඇමතුමට පිළිතුරු දෙමින්, පිළිස්සුම් තුවාලකාරිය නෑවීම ඇතුළු වහාම කළ යුතු මූලික ප්‍රථමාධාර පිළිබඳව සුවසැරිය මගින් උපදෙස් ලබා දුන්නද, තමන් සිදුවීම වූ ස්ථානයට ළඟා වන විටත් එම නිවසේ පිරිස විසින් අදාළ ප්‍රථමාධාර උපදෙස් අනුගමනය කර නොතිබූ බව සාක්ෂිකාරිය අධිකරණයට ප්‍රකාශ කර තිබේ.
රිෂාඩ් බදියුර්දීන්ගේ බිරිය තම දියණියගේ සුවදුක් බැලීම සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය බැවින් දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස නීතිඥවරුන් මගින් ඉල්ලා තිබේ. මෙදින කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විත්තිකාරියගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා, මෙම නඩුව නැවත ඔක්තෝබර් 21 වැනි දින කැඳවීමට නියෝග කර ඇත.
දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරුණු දැරිය මෙම නිසාවට ගෙන ආ තැරැව්කරු පොන්නයියා පන්දාරම් හෙවත් ශංකර් නැමැත්තා මියගිය බවටද මීට මාස කිහිපයකට පෙර වාර්තා විය.
හිශාලනී මිය යන විට වයස අවුරුදු 16 ක් වූ අතර බාලවයස්කාර දැරියක් නීති විරෝධී ලෙස මෙහෙකාර සේවයේ යොදවා ගනිමින් කෲරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍යවරයාගේ බිරිය වන ශෙයාබ්දීන් අයේෂා සහ ඇගේ පියා වන මොහිදීන් ශෙයාබ්දීන් යන අයට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගෘහ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ප්‍රොටෙක්ට් සංගමයේ සභාපති කේ. මයිතිලී whatnews වෙත පවසා සිටියේ 2021 සිට වසර 5ක් තිස්සේ මෙම නඩුව පවතින අතර දිනෙන් දින හිශාලනිට යුක්තිය ප්‍රමාද වන බවයි. මෙම නඩුවද සාධාරණ ලෙස කඩිනමින් විභාග කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බව ඇය වැඩි දුරටත් පවසා සිටියාය.
