මීගමුව බන්ධනාගාරයේ ඇතුළේ සිදු වූ භීෂණය ගැන සාක්ෂි මෙන්න!

මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් 32 දෙදෙනෙකු ඝාතනය වීමේ සිදුවීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව පසුවන රැඳවියන්ට අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට හැකියාව පවතින බව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය සඳහන් කර තිබෙනවා.

අධිකරණ කටයුතු ආරම්භ කරමින් නඩු සඳහා බන්ධනාගාරගත රැඳවියන් ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී කියා සිටියේ, අදාළ බන්ධනාගාර සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් කිරීමට කැමැත්තක් දක්වන යම් රැඳවියෙකු සිටී නම් අත ඔසවා ඉදිරිපත් වන ලෙසයි.

කෙසේ වෙතත්  ඒ සඳහා කිසිදු රැඳවියෙකු ඉදිරිපත් වූයේ නැත.

මේ අතර මහාධිකරණයෙන් ඇප ලබාගෙන බන්ධනාගාරයෙන් පිටව යන රැඳවියන්ගෙන් මෙම සිදුවීමට අදාළව මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්ෂි ලබාගැනීම සිදු කෙරෙන අතර මේ වන විට රැඳවියන් 28 දෙනෙකු සාක්ෂි ලබා දී තිබෙනවා.

පසුගිය මැයි 02 වනදා තායිලන්තයේ සිට ගුවන් මගින් මෙරටට කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ඒමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි භික්ෂූන් වහන්සේලා සිව්නමකට මීගමුව මහාධිකරණය මගින් ඇප නියම කර තිබුණා,

ඒ අනුව ඇප ලබා පිටව යාමට පෙර එම සිද්ධියට මුහුණ දුන් නිකපොත සුමනරක්ඛිත හිමියන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ  සාක්ෂියක් ඉදිරිපත් කළා.

එහිදී සුමනරක්ඛිත හිමියන් අධිකරණය හමුවේ පවසා සිටියේ තමන් වහන්සේ සෙල් වාට්ටුවේ රඳවා සිටි බවත්,  මැයි 05 වනදා ආහාර ලබා දෙන අවස්ථාවේදී පිටතින් විශාල ශබ්දයක් ඇසුණු බවයි.

සාමාන්‍යයෙන් ආහාර බෙදන අවස්ථාවලදී වාට්ටුවේ දොරවල් නොඅරින නමුත් එදින පිටත දොර කඩාගෙන මුහුණ ලේන්සුවලින් ආවරණය කරගත් අත්වල පොලු ගත් 15 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඇතුළට පැමිණි බව උන්වහන්සේ සඳහන් කළා.

ඇතුළත නොසිට පන්සලට යන ලෙස එම පිරිස කළ දැනුම්දීම මත පන්සල දෙසට ගියද එය වසා තිබීම නිසා නැවත වාට්ටුවට පැමිණි බවත් ඒ වන විට වාට්ටුවේ සියලු දොරවල උගුල් කඩා බඩු බාහිරාදිය එළියට ඇද දමා තිබූ අතර තැනින් තැන බෙහෙත් පෙති වැටී තිබූ බවත් උන්වහන්සේ පැවසුවා.

පසුදින උදෑසන කෝලාහලයක් නොතිබුණද අන් වාට්ටුවල සිටි අයද තමන් වහන්සේලාගේ වාට්ටුවට පැමිණ සිටි බවත්  වෙනදා මෙන් ඇතුළට ආහාර නොගෙනැවිත් එළියෙන් ලබාගන්නා ලෙස දැනුම් දුන් බවත් උන්වහන්සේ පවසනවා.

කිසිදු බන්ධනාගාර නිලධාරියෙකු නොසිටි එම අවස්ථාවේ කෑම බෙදීම සිදුකර ඇත්තේද රැඳවියන් විසින්ම බව උන්වහන්සේ සදහන් කළා.

ඊට පැය එකහමාරකට පමණ පසුව වෙඩි හඬක් සමග නැවත කෝලාහල ශබ්ද ඇසුණු අතර ගේට්ටුවෙහි අගුළු කඩා තිබූ නිසා මාංචු දමා තිබූ එළියේ ගේට්ටුවද කඩාගෙන පැමිණි පිරිසක් එළියේ සිටින අයට පහරදෙන බැවින් සියලු දෙනාට එළියට බසින ලෙස නියෝග කළ බව උන්වහන්සේ කියා සිටියා.

ගේට්ටුව අසල සිට බලන විට විනාඩි 15කට පමණ පසුව නැවතත් වෙඩි හඬ ඇසී විශාල පිරිසක් දුවගෙන එනු දැක නැවත වාට්ටුවට ගිය බවත්  ඒ සමගම පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකා   නිලධාරීන් එළියට ආවොත් වෙඩි තබන බවට අනතුරු ඇඟවූ බවත් උන්වහන්සේ පැවසුවා.

ඉන්පසු කකුල්වලට වෙඩි වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු වාට්ටුවට ගෙනැවිත් දමා පැයකට පමණ පසු රැගෙන ගිය බවත්  දහවල් කාලයේදී සියලු දෙනා පෝලිම් කර “රොකී” නමැති රැඳවියා සොයා එළියට ගත් බවත් පැවසූ සුමනරක්ඛිත හිමියන්, ඊට පසු නැවත ගේට්ටුව නොඇරිය බව ට වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසුවා.  

ඉන් අනතුරුව  මෙම සිදුවීම වන අවස්ථාවේ බන්ධනාගාරගතව සිටි නුවන් චතුරංග නමැති රැඳවියා අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා.

ඔහු සඳහන් කළේ මැයි 07 වනදා තමන් දෙකේ වාට්ටුවේ දහවල් ආහාර ගනිමින් සිටියදී 20ක 30ක පමණ පිරිසක් දොරට ගසා එය කඩාගෙන ඇතුළට පැමිණි බවයි.

එහිදී ඇතුළත සිටි මිහිඳු නමැති අයට පහරදුන් අතර ඔහු එතැනින් දිවගිය බවත් විනාඩි 15කට පමණ පසු නැවත පැමිණි පිරිසක් “කූරා”  නමැති අයටද පහරදුන් බවත් ඔහු පැවසුවා.

තමන් ඇතුළු පිරිස ආරක්ෂාව සඳහා එළියට දිවගිය අතර පිටුපස සිට පැමිණි පිරිසක් හඳුනාගත නොහැකි ලෙස එකිනෙකාට පහරදීගෙන එනු දුටු බවද රැඳවියා කියා සිටියා.

සවස නැවත වාට්ටුවට යන ලෙස දැනුම් දෙන විට රාත්‍රී වී තිබූ අතර ඒ වන විට බන්ධනාගාර රෝහල කඩා තිබූ බවත්  රැඳවියන් විසින්ම පෙති වර්ග අරගෙන විසි කරමින් ඉල්ලන අයට ලබාදුන් බවත් ඔහු අනාවරණය කළා.

එලෙස පෙති වර්ග ලබාගත් පිරිස් ඇස් ඇඹරී දිවවල් එළියට දමාගෙන විවිධ විකාරරූපී ලෙස හැසිරුණු බවත්  තමන් එදින රාත්‍රියේ පන්සලේ නිදාගත් බවත් රැඳවියා පැවසුවා.

පසුදා උදෑසන නැවත දෙකේ වාට්ටුවට පැමිණි පසු පෙරවරු 9ට  පමණ පහළින් විශාල ඝෝෂාවක් සමග පිරිසක් උඩට දුවගෙන ආ බවත් වාට්ටුවට පැමිණි ඔවුන් එළියට බසින ලෙස දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළා.

ඉන් ටික වේලාවකට පසු උඩ සිට පිරිසක් පහළට දුවගෙන ආ අතර  වෙඩි තබන බවටත් වෙඩි හඬවල් ඇහෙන බවටත් පිරිස කතා වූ බවත්, ඉන්පසුව සියලු දෙනාට ඔළුවට අත් තබාගෙන බිත්තිය දෙසට ඇල වී සිටින ලෙස නියෝග කළ බවත්  ඔහු පවසනවා. .

සවස 3.30ට පමණ බන්ධනාගාර නිලධාරීන් පැමිණ තමන් ඇතුළු පිරිස එළියට ගෙන ගොස් බස් රථවලින් අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන ගිය බවත් ඒ වන විට මීගමුව බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බවත් ඔහුඑම රැඳවියා සඳහන් කළා.

 බන්ධනාගාරයේ ස්ථාන රැසක ලේ පැල්ලම්, කැඩුණු මල් පෝච්චි සහ වැටවල් තිබූ අතර, ප්‍රධාන දොරටුව සහ ලී දොර අතර කාමරවල වීදුරු පවා බිඳී තිබූ බවට ඔහු වැඩිදුරටත් පැවසුවා.   

එමෙන්ම මෙම රැඳවියන් දෙදෙනාගේ සාක්ෂිවලට අමතරව තවත් සාක්ෂිකරුවන් සිව්දෙනෙකු එදින අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading