සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්රධානතම සමීපතමයෙකු ලෙස සැලකෙන “රත්මලානේ සයිමා” නමැති මත්ද්රව්ය ජාවාරම්කරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මැලේසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එරට පොලිසිය සහ ආරක්ෂක අංශ මගින් ක්රියාත්මක කළ විශේෂ සෙවුම් මෙහෙයුමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේවෙතත් විදේශගතව සිටිමින් මෙරට මත්ද්රව්ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්රධාන පෙළේ අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්වද අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්යන්තර පොලිසිය මගින් මීට පෙර රතු නිවේදන පවා නිකුත් කර තිබුණා.
ඇප මත නිදහස් වීමෙන් පසු විදේශයකට පලා ගිය කංජිපානි ඉම්රාන්, විදේශයන්හි සිටින සිය ජාලය හරහා මෙරට තුළ සිදුවන ජාවාරම් සහ විවිධ අපරාධ ක්රියාකාරකම් පාලනය කරන බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබුණා.
විදේශයන්හි සැඟව සිටිමින් ජාත්යන්තර මත්ද්රව්ය ජාලය පවත්වාගෙන යන කංජිපානි ඉම්රාන්ගේ ප්රධානතම සගයින් සහ බෙදාහරින්නන් ඉලක්ක කර ගනිමින් බුද්ධි අංශ එක්ව විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විටත් දියත් කරමින් පවතිනවා.
