තැපෑලත් ඩොලර් 626,755 ක් වෙනත් පාර්ශවයකට බැර කරලා

තැපැල් දෙපාර්තමේන්තුව සතු අමෙරිකානු ඩොලර් 626,755 ක මුදල් වෙනත් පාර්ශ්වයක් වෙත බැර වීමේ සිද්ධිය පිළිබඳව විදේශ කටයූතු අමාත්‍යාංශය මාර්ගයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (ජුලි 23) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ එම නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සිද්ධියට සම්බන්ධ ඊමේල් දත්ත ඇතුළත් සර්වර් පද්ධතිය සහ මෙම විමර්ශනයට අදාළව සොයා ගත් ලැප්ටොප් ඇතුළු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය වෙත යොමු කර ඇති බව කියා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපෑල හරහා වෙනත් ගිනුම් 9 කට අවස්ථා දෙකකදී මෙම මුදල් බැරවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.

ඇමෙරිකාවේ (US Post) තැපැල් සේවයට සිදුකරන ලද මෙම ගෙවීම වෙනත් පාර්ශවයක් අතට පත්වීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත්, ගෝලීය වශයෙන් තැපැල් ගනුදෙණු සිදුකිරීමේදී විශ්ව තැපැල් සංගමය විසින් ඒ සදහා ඊමේල් ගිණුම් ලබාදෙන බවත්, එසේ තිබියදී ඊට පරිබාහිර ලෙස ඊමේල් ගිණුමක් භාවිත කර මෙම මුදල් ගෙවීම සිදුකර තිබෙන බවට ඉදිරිපත් වී ඇති කරුණු මත මෙම විමර්ශනය සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading