අධික ලෙස බර පැටවීම, අධික ලෙස වැඩ කරවීම හා අධික ලෙස ඇවිද්දවීම සත්වයන් සම්බන්ධයෙන් කෲර ලෙස සැලකීමේ වරදක් බවට පත්වන බව, ප්‍රකාශයට පත්කර ඇති සත්ත්ව සුභසාධන පනත් කෙටුම්පතේ සඳහන් වේ.
පහර දීම, පයින් ගැසීම, පාගා දැමීම, අධික ලෙස බෝකරවීම, වධ හිංසා පැමිණවීම, බිය ගැන්වීම හෝ අන්‍යාකාරයකින් සත්වයකු අනවශ්‍ය වේදනාවට පත්කරන ආකාරයකින් එම සත්වයාට සැලකීම හෝ සත්වයා භාර තැනැත්තා වශයෙන් සත්වයාට එලෙස සැලකීමට අවසර දීම එසේ කෲර ලෙස සැලකීමේ වරදට අදාළ අනෙකුත් කරුණු වේ.
ඒ ආකාරයේ කෲර ලෙස සලකනු ලබන තැනැත්තකු මහේස්ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට රුපියල් දෙලක්ෂ පනස්දාහසක් නොඉක්මවන දඩයකට හෝ වසර දෙකක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය හෝ බන්ධනාගාරගතවීම යන දඬුවම් දෙකටම යටත් විය යුතු බව එහි සඳහන් වේ.
සත්ව සුභසාධනය සැලසීම සඳහා සහ සත්වයන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීම සඳහා සහ සතුන්ට කෲර ලෙස සැලකීමේ ආඥා පනත ඉවත් කිරීම සඳහා එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා විසිනි.
