මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යෝෂිත රජපක්ෂට විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 25 දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 22) නියම කර ඇත.
ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන බැවින් එම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා ඇතත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඉල්ලීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකර ඇත.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නීතිපිතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යෑමට නොහැකි බවට තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ බව එම පෙත්සමේ සඳහන් කර ඇත. එම පෙත්සම මගින් යෝෂිත රාජපක්ෂ මහතා ඉල්ලා ඇත්තේ අභියාචනාධිකරණ ලබාදුන් නියෝගය ඉවත්කර මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යෑමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.
