නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් හා සුඛෝපභෝගී ජීවන රටාවන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිමින් පසුගිය ජූලි 09 වනදා නිකුත් කළ නිවේදනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියි.
නිසි මාර්ගෝපදේශවලින් තොරව නිකුත් කළ මෙම ප්‍රකාශය නිසා ග්‍රාමීය ජනතාව දැඩි හිරිහැරයට හා බියගැන්වීමට ලක්වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන එජාපය, එක්සත් රාජධානියේ ස්වාධීන පරීක්ෂණ වාර්තාවේ ‘පොදු අරමුණු පිළිබඳ ප්‍රකාශය’ අනුව පොලීසියේ ප්‍රධාන කාර්යය වන්නේ නීතිය හා සාමය සුරැකීම සහ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම බවත්, මෙම නිවේදනයෙන් එම මූලධර්ම උල්ලංඝනය වන බවත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වත්කම් බද්දක් නොමැති පසුබිමක, විදේශ රැකියා වැනි නීත්‍යානුකූල මාර්ගවලින් උපයන ග්‍රාමීය ජනතාව බදු ක්‍රමය පිළිබඳ අවබෝධයක් නැතිකමින් තමන්ගේ වත්කම් ප්‍රකාශ කර නොතිබීමට ඉඩ ඇති බවත්, නීතිවිරෝධී වත්කම් තීරණය කිරීමට නිශ්චිත ක්‍රියාපටිපාටියක් නැති නිසා මෙය මහජනයා පීඩාවට පත්කරන මෙවලමක් විය හැකි බවත් පක්ෂය අනතුරු අඟවයි.
එම නිසා, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර විධිමත් මාර්ගෝපදේශ සකස් කරන තෙක් වත්මන් නිවේදනය අස්කරගෙන ජනතාව හිරිහැරයට පත්නොවන පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කරන ලෙස එජාපය වැඩිදුරටත් ඉල්ලා සිටී.
