චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුජ දිනාජිත් බණ්ඩාර පැය 24ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරු අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.
තමන් පොලිස් නිලධාරීන් බව හඟවමින් පැමිණ මෝටර් රථයක ගමන් කරමින් සිටි චීන ජාතිකයකුගේ විදෙස් ගමන් බලපත්‍රය හා රථය පරීක්ෂා කරන මුවාවෙන්, එහි තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඊයේ (21) කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගන්නා ලදී. ප්‍රකාශයක් ලබාදීම සඳහා කොල්ලුපිටිය පොලිසියට ඊයේ පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූලි 13 වැනිදා තමන් පොලිස් නිලධාරීන් බව හඟවමින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින්, මෝටර් රථයකින් ගමන් කරමින් සිටි චීන ජාතිකයෙකු නවතා එහි දොරටු විවෘත කර මාංචු යුගලක් පෙන්වමින් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ. එහිදී අදාළ චීන ජාතිකයාගේ විදෙස් ගමන් බලපත්‍රය සහ මෝටර් රථය පරීක්ෂා කරන මුවාවෙන්, එම රථය තුළ තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සහිත බෑගය පැහැරගෙන ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇත.
අත් අඩංගුවටගෙන ඇති අනෙක් පුද්ගලයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ මුනුබුරෙකු බවද වාර්තා වේ.
