බීබීසී සිංහල මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීමට එරෙහිව වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවලින් බලවත් විරෝධයක්

බීබීසී (BBC) සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ කමිටුව හමුවට කැඳවීමට පියවර ගැනීම තොරතුරු දැනගැනීමේ සහ ප්‍රකාශනයේ නිදහසට එරෙහිව එල්ල කරන ලද අත්තනෝමතික බලහත්කාරයක් බව පවසමින් ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අද (ජූලි 22) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එකී පියවර හෙළා දැක තිබේ.

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනට එරෙහිව එල්ල වී ඇති බරපතල ළමා අපයෝජන චෝදනා පිළිබඳ සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් සොයා බැලීමට, ඉකුත් ජූනි මස මුල් සතියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් රැස්වීමක් කැඳවා තිබුණි. එම රැස්වීමට අදාළ තොරතුරු වාර්තා කිරීම හේතුවෙන් BBC සිංහල සේවයේ මාධ්‍යවේදීන් 2026 ජූලි 23 වන දින පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති අතර, එම ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී බව අදාළ සංවිධාන එකතුව පෙන්වා දෙයි.

අදාළ නිවේදනය මගින් ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මහජන සුබසිද්ධිය උදෙසා තොරතුරු වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියක් වන අතරම එම තොරතුරු දැනගැනීම මහජනතාව සතු පරම අයිතිවාසිකමක් බවයි.

එමෙන්ම දේශපාලන, පරිපාලන, මිලිටරි හෝ ආගමික බලධාරීන් විසින් සිදු කරනු ලබන දූෂිත හා මහජන විරෝධී ක්‍රියා අනාවරණය කරගැනීමට ඇති ඉඩකඩ ‘පාර්ලිමේන්තු වරප්‍රසාද’ පිටුපස සැඟවී වසා දැමීමට උත්සාහ කිරීම ඉකුත් වසර ගණනාව පුරා පැවැති මහජන විරෝධී දේශපාලන සංස්කෘතියේම කොටසක් බව පෙන්වා දෙන අදාළ සංවිධාන එකතුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යනු ව්‍යවස්ථාපිත ආයතනයක් නොවන බැවින් එහි සිදුවන සාකච්ඡා වාර්තා කිරීම තුළින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් කිසිසේත්ම සිදු නොවන බව ද තදින්ම අවධාරණය කරයි.

එම නිවේදනය පහතින්

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading