මෝදිගේ නිවස ඉදිරිපිට සත්‍යග්‍රහයක් කළ රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධීන්ට එරෙහිව විරෝධතාවයේ නිරත වූ සිසුන්ට පොලීසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පාමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල නිවස ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි, කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකා ගාන්ධි සහ සමාජවාදී පක්ෂ නායක අකිලේෂ් යාදව් ඇතුළු විපක්ෂයේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් පිරිසක් ඊයේ (21) දිල්ලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිල්ලි නුවර ලෝක් කල්යාණ් මාර්ගයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ආසන්නයේ පැය තුනකට ආසන්න කාලයක් පැවැති මෙම විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළ අතර, පසුව අත්අඩංගුවට ගත් විපක්ෂ නායකයන් පැය කිහිපයකට පසු මුදා හැරීමට පියවර ගෙන ඇත.

ඉන්දීය පුවත් සේවා වාර්තා කරන්නේ, විපක්ෂ නායකයන්ගේ මෙම හදිසි සත්‍යග්‍රහය හේතුවෙන් අග්‍රාමාත්‍ය නිල නිවස ආසන්නයේ අධි-ආරක්ෂිත කලාපයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් බවයි. පොලීසිය සහ මධ්‍යම රජයේ නියෝජිතයන් සාකච්ඡා මාර්ගයෙන් විරෝධතාව අවසන් කිරීමට උත්සාහ කළද, පාර්ශ්වයන් අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබේ.

පසුව පොලීසිය විසින් බලහත්කාරයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, එහිදී රාහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි, කොංග්‍රස් සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේ සහ සමාජවාදී පක්ෂ නායක අකිලේෂ් යාදව් ඇතුළු පිරිසක් පොලිස් භාරයට ගෙන ඇත.

“සිසුන්ගේ අයිතිවාසිකම් උදෙසා කෙරෙන මෙම සටන කිසිසේත්ම නතර කරන්නේ නැහැ. සිසුන්ට එල්ල කරන ප්‍රහාරය සමස්ත ඉන්දීය පවුල්වලටම එල්ල කරන ප්‍රහාරයක්,” යැයි අත්අඩංගුවට පත්වීමට පෙර රාහුල් ගාන්ධි සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading