විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය- ඒ වෙනුවට නව පනතක්!

සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සුබසාධනය, අයිතිවාසිකම් සහ ක්ෂේත්‍රයේ නියාමනය වඩාත් ශක්තිමත් කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීමට 20 වෙනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ වර්තමාන ගෝලීය ශ්‍රම වෙළඳපොළ ප්‍රවණතාවලට අනුගත වන පරිදි අදාළ නීතිමය හා ආයතනික රාමුව නවීකරණය කිරීමේ අරමුණින් බව පවසමින් දැනට බලපැවැත්වෙන 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කර නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ සුබසාධනය සුරක්ෂිත කිරීම, විදේශ රැකියා නියාමනය සහ නංවාලීම වෙනුවෙන් 1985 වසරේදී මෙම පනත ප්‍රථමයෙන් හඳුන්වා දෙන ලදී. කෙසේ වෙතත්, වසර 40කට ආසන්න කාලයක් පැරණි මෙම ව්‍යවස්ථාපිත රාමුව වර්තමාන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට, නව ගෝලීය රැකියා ප්‍රවණතාවලට සහ ජාතික ප්‍රමුඛතාවන්ට ගැළපෙන පරිදි නවීකරණය විය යුතු බව හඳුනාගෙන ඇති බව රජය පවසයි.

නව නීතියේ මූලික අරමුණ වන්නේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ තදබල නියාමනයක් ඇති කරමින් නීති විරෝධී ලෙස පුද්ගලයන් විදේශගත කිරීම සහ තැරැව්කරුවන්ගේ අයථා ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම වැළැක්වීමයි. එමෙන්ම, විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කරමින් ශ්‍රමික සුබසාධනය ඉහළ නැංවීමටත්, වර්තමාන ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළට අනුගත වන පරිදි මෙරට නීතිමය සහ ආයතනික රාමුව ගෝලීය ප්‍රමිතීන්ට අනුව ශක්තිමත් කිරීමටත් මෙයින් අපේක්ෂා කෙරේ.

දැනට පවතින පනත ප්‍රකාරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තීන්දු තීරණ ගන්නා ප්‍රධාන මණ්ඩලය වන අධ්‍යක්ෂ මණ්ඩලය තුළ ලක්ෂ 20කට ආසන්න සංක්‍රමණික ශ්‍රමිකයන් නියෝජනය වන කිසිදු නියෝජිතයෙකු නොමැති වීම බරපතල ගැටලුවක් බව සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දෙයි.

මෙම පාලක මණ්ඩලය සාධාරණ ත්‍රෛපාර්ශවීය රාමුවක් මත ක්‍රියාත්මක විය යුතු වුවද, වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන්නේ බඳවා ගැනීමේ නියෝජිත ආයතන (Recruitment Agencies) සහ රජයේ නිලධාරීන් පමණක් බව එම සංවිධාන අවධාරණය කරයි.

නව පනත තුළ එය එසේ නොවිය යුතු බවත් අධ්‍යක්ෂ මණ්ඩලය තුළ බඳවා ගැනීමේ නියෝජිත ආයතනවලට හිමිව ඇති නියෝජනයට සමාන සාධාරණ නියෝජනයක් සංක්‍රමණික ශ්‍රමිකයන්ටද ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading