බිරිඳ හා දියණියක් තවමත් රජයේ බාරයේ
ඔවුන්ගේ නඩත්තුවට මාසයකට රු. 153,220ක් වැය වේ.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පවුලේ සාමාජිකයන් නඩත්තුව සඳහා මේ වනවිට රජය දරා ඇති ඇස්තමේන්තුගත වියදම රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ හැත්තෑ අටදහසක් ( රු. 26,278,052.39) බව අනාවරණය වී ඇත.
එසේ අනාවරණය වී ඇත්තේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් වාචික පිළිතුරු අපෙක්ෂා නොකරන ප්‍රශ්නයක් වශයෙන් ආරක්ෂක ඇමතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට ලබාදුන් පිළිුතුරු අනුවය.
රෝහණ විජේවීර මහතාගේ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ හා දරුවන් ආරක්ෂා කිරීම සඳහා රැකවරණය ලබාදීම රජය විසින් සිදුකර ඇති බවද, ඒ යටතේ ඔහුගේ බිරිඳ ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු, වැඩිමහල් දියණිය දසුන් ඊගා විජේවීර, දෙවන දියණිය සුපුන් මාගා විජේවීර, තෙවන දියණිය මායා විභූති විජේවීර, බාල දියණිය අමා සසිරි විජේවීර, වැඩිමහල් පුතා උවිඳු විදුර විජේවීර හා බාල පුතා සුපුන් අදිශ විජේවීර රජයේ රැකවරණය යටතේ සිට ඇති බවද එම පිළිතුරේ සඳහන් වේ.
එමෙන්ම තවදුරටත් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු හා තෙවන දියණිය වන මායා විභූති විජේවීර රජයේ රැකවරණය යටතේ සිටින බවද ඔවුන්ගේ ආරක්ෂාව සහ නඩත්තුව වෙනුවෙන් මාසයකට රජය රුපියල් 153,220.25ක මුදලක් වැය කරමින් සිටින බවද එම පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වේ.
