විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීමේ ක්‍රම වලට එරෙහිව දැඩි නීති

විෂ රසායනික ද්‍රව්‍ය යොදා අවිධිමත් ලෙස පළතුරු ඉදවීම වැළැක්වීම සහ එම ක්‍රමවේද නියාමනය කිරීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

කෙසෙල්, අඹ, ගස්ලබු සහ අලිපේර වැනි පලතුරු ඉක්මනින් ඉදවා ගැනීම සඳහා විවිධ අහිතකර රසායනික ද්‍රව්‍ය යොදාගන්නා බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට (CAC) පැමිණිලි රැසක් ලැබී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස විෂ රසායනික යොදා ඉදවන පලතුරු පරිභෝජනය කිරීමෙන් මිනිස් සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳව නිසි පර්යේෂණ පවා නොමැති තත්ත්වයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, මෙම ක්‍රියාවලිය වහා නියාමනය කර දැඩි නීතිමය තීන්දු තීරණ ගතයුතු බව අවධාරණය කර තිබේ.

එමෙන්ම පලතුරු ඉදවීම සඳහා විෂ රසායනික යෙදීම වහා නතර කිරීමට ඇති පවතින නීතිමය තත්ත්වයන් මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදුවන නෛතික බාධා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස විමසා තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට පවා සංශෝධන සිදු කිරීමට සලකා බලන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇති අතර, පවත්නා ආහාර පාලන පනතේ විධිවිධානවලට අනුව කිසිදු රසායනිකයක් හෝ ද්‍රාවණයක් පලතුරක් සමඟ ඍජුව ස්පර්ශ වීමට ඉඩ තැබිය නොහැකි බව ද අදාළ නිලධාරීහු වැඩිදුරටත් පවසා තිබේ.

කෘෂි පර්යේෂණ නිලධාරීන් කරුණු දක්වමින් පවසා ඇත්තේ, වාණිජ කෘෂිකර්මාන්තය තුළ යම් තාක් දුරකට කෘතිමව පලතුරු ඉදවීමේ ක්‍රමවේද භාවිත කිරීමට සිදුවන බවයි. ජාත්‍යන්තර වශයෙන්ද මෙවැනි ක්‍රමවේද විද්‍යාත්මක පදනමක් මත භාවිත වන බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් එම විද්‍යාත්මක හා ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික දැනුම සහ පුහුණුව ලබාදෙන බවත් ඔවුහු පැහැදිලි කර තිබේ.

කෙසේ වෙතත්, බොහෝ පලතුරු නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් එම නිසි විද්‍යාත්මක ක්‍රමවේද පසෙකලා, පහසු සහ අවිධිමත් කෘතිම ක්‍රමවේදයන්ට පුරුදු වී සිටීම ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනා ගෙන තිබේ.

පලතුරු ඉදවීම සඳහා විෂ රසායනික භාවිත කර ඇත්දැයි තහවුරු කරගැනීමට අවශ්‍ය රසායනාගාර පහසුකම් දැනට කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සතුව පැවතියද, එහි පවතින අධික කාර්යබහුලත්වය හේතුවෙන් පරීක්ෂණ ප්‍රමාද වන බව අනාවරණය වී තිබේ.

ඊට පිළියමක් ලෙසත්, ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති වැටලීම් ඉලක්ක කරගනිමින් පරීක්ෂණ කඩිනම් කිරීම සඳහාත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටම වෙනම රසායනාගාර පහසුකම් ලබාදීම කෙරෙහි මෙම මූලික සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading