මාතලේ මහ රෝහල් භූමියේදී 2012 වසරේදී හමුවූ සමූහ මිනීවළට අදාළව වසා දමා ඇති නඩු ගොනුව යළි විභාගයට ගන්නා ලෙස ’88 – 89 අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව’ කළ ඉල්ලීම මාතලේ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු හර්ෂණ ධනුෂ්ක රත්නායක මහතා 16 වැනිදා නිශ්ප්‍රභ කළේය.
2015 වසරේදී අවසන් තීන්දුවක් නොමැතිව වසා දමා තිබූ මෙම නඩුව යළි විභාගයට ගන්නා ලෙස අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය මෝසමක් මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත්, පූර්වගාමී විනිසුරුවරයා විසින් ලබා දුන් තීන්දුවක් යළි මෙම අධිකරණය හමුවේ විභාග කළ නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, නීතිපති උපදෙස් මත ඉහළ අධිකරණයක මෙම නඩුව ගොනු කරන ලෙස ප්‍රකාශ කරමින් එම ඉල්ලීම නිශ්ප්‍රභ කරනු ලැබීය. මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ජීව වායු ඒකකයේ ඉදිකිරීම් සඳහා කළ කැණීමකදී මෙම සමූහ මිනීවළ අනාවරණය වූ අතර, අධිකරණ නියෝග මත සිදුකළ කැණීම්වලදී මිනිස් සිරුරු 150කට අධික සංඛ්‍යාවක අස්ථි කොටස් සොයා ගැනීමට හැකි විය. අධිකරණ වෛද්‍ය නිලධාරින් මඬුල්ලක් සහ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කැණීම් සිදුකෙරිණි. පසුව එම අස්ථි කොටස්වල කාල නිර්ණය සඳහා අෙමරිකාවේ රසායනාගාරයකට සාම්පල යවා වාර්තා කැඳවීමෙන් අනතුරුව, 2015 වසරේදී අවසන් නියෝගයකින් තොරව නඩු ගොනුව වසා තැබීමට මාතලේ අධිකරණය කටයුතු කර තිබිණි.

මෙම මෝසම සලකා බැලූ අවස්ථාවේදී අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව විසින් තමන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් මාතලේ අධිකරණය ඉදිරිපිට ඊයේ (16) සාමකාමී සත්‍යග්‍රහයක ද නිරත වූහ.
