කොළඹ රුපියල් මිලියන 75ට වැඩි සුඛෝපභෝගී මහල් නිවාස අලෙවිය 29% දක්වා ඉහළට

පසිඳු සඳරුවන්

කොළඹ දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 75ට වැඩි සුඛෝපභෝගී මහල් නිවාස අලෙවි ප්‍රතිශතය, පසුගිය වසරේ පළමු කාර්තුවේ පැවති සියයට 11ක සිට මේ වසරේ පළමු කාර්තුව වන විට සියයට 29 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් 2026 වසරේ පළමු කාර්තුව සඳහා නිකුත් කරන ලද නව සහාධිපත්‍ය මිල දර්ශකයට අනුව, රුපියල් මිලියන 50 – 75 සහ රුපියල් මිලියන 75ට වැඩි සුඛෝපභෝගී නිවාස විකුණුම්වල මෙලෙස වර්ධනයක් සටහන්ව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ නව මහල් නිවාසවල මිල ගණන් මෙලෙස ඉහළ යද්දී, ඊට සාපේක්ෂව කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල සමස්ත මහල් නිවාස අලෙවියේ අඩුවීමක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම මැද පන්තියේ නිවාස අලෙවිය බිඳ වැටී ඇති අතර, රුපියල් මිලියන 25 – 50 අතර පවතින මධ්‍යම මට්ටමේ නිවාස අලෙවිය, පසුගිය වසරේ පළමු කාර්තුවේදී වාර්තා කළ සියයට 49ක අලෙවියට සාපේක්ෂව මේ වසරේදී සියයට 29ක් දක්වා පහත වැටී ඇත.

දැනට සම්පූර්ණ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් සියයට 98ක්ම අලෙවි වී ඇති අතර ඉතිරිව පවතින්නේ සියයට 2ක් වැනි සුළු ප්‍රතිශතයකි. නිම කරන ලද මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිවලින් සියයට 81ක් අලෙවි වී ඇති අතර ඉතිරිව ඇත්තේ සියයට 19කි. එමෙන්ම, දැනට ඉදිවෙමින් පවතින නිවාස ව්‍යාපෘතිවලින් ද සියයට 51ක් මේ වන විටත් අලෙවි වී ඇති අතර, තවත් සියයට 49ක් ඉතිරිව පවතී.

මෙම මහල් නිවාස මිලදී ගැනීම්වලින් බහුතරයක් සිදු කර ඇත්තේ ශ්‍රී ලාංකික පදිංචිකරුවන් විසින් වන අතර, ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ගේ දේපළ මිලදී ගැනීම් පසුගිය වසරට සාපේක්ෂව සමාන අගයක පවතී. කෙසේ වෙතත්, විදේශිකයන්ගේ මිලදී ගැනීම්වල අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

Author

Related Posts