මීගමුව බන්ධනාගාරය තුළ ඉකුත් 05 වැනිදා සහ 06 වැනිදා සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ කරුණු වාර්තා කර තිබේ. සිද්ධියට අදාළව හඳුනා ගන්නා සියලු සැකකාර රැඳවියන් මිනීමැරුම් චෝදනා යටතේ, ගිනිඅවි අඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවද දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබේ.
රැඳවියන් බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා තුවක්කු පැහැරගෙන වෙඩි තැබීමෙන් පසුව, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව CIDය අධිකරණයට දන්වා තිබේ. මෙම දරුණු ගැටුම හේතුවෙන් ඊයේ මිය ගිය නිලධාරීන් දෙදෙනාද ඇතුළුව බන්ධ පොලිස් (පොලිස් හදිසි උපක්රමික බළකායේ) නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම සිද්ධියට අදාළව බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී වැදගත් නඩු භාණ්ඩ රැසක් සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත. එහිදී ටී-56 උණ්ඩ සහ මිලිමීටර් 9 ප්‍රමාණයේ සජීවී උණ්ඩ 271ක් ද, ජීව උණ්ඩ සහිත ගිනිඅවි 60ක් ද සොයාගෙන අධිකරණ නඩු භාණ්ඩ කාමරය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම, කැරලි කෝලාහල අවස්ථාවේදී රැඳවියන් විසින් බන්ධනාගාරයේ සීසීටීවී කැමරා පද්ධතියේ DVR යන්ත්‍ර විනාශ කර තිබුණ ද, එහි සුන්බුන් අතර තිබී සොයාගත් Hard Disks දෙකක් වැඩිදුර විශ්ලේෂණ කටයුතු සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දී ඇත. මීට අමතරව, බන්ධනාගාරයේ සීසීටීවී පද්ධතිය ස්ථාපිත කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් බැවින්, ඒවායේ අන්තර්ජාලය (Cloud) තුළ පටිගත වී ඇති දර්ශන ලබාගැනීම සඳහා යුද හමුදා සංඥා බළකාය වෙත ද නියෝගයක් නිකුත් කර ඇත.
සිද්ධිය වන අවස්ථාවේදී බන්ධනාගාරයේ රැඳී සිටි සියලුම රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය. දැනට ඔවුන් දිවයින පුරා විවිධ බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බැවින්, එම රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ද අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
තවද සිද්ධියෙන් සිදුවූ අලාභය තක්සේරු කරන ලෙස තක්සේරු දෙපාර්තමේන්තුව වෙත ද මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කර තිබේ.
ඉකුත් 05 වැනිදා උදේ කාලයේදී මෙම මූලික සිදුවීම ආරම්භ වී ඇති අතර, ඊට මුල් වී ඇත්තේ බන්ධනාගාරයේ A1 වාට්ටුවේ රඳවා සිටි 4423 අංක දරන සුරේෂ් පුෂ්පකුමාර නොහොත් ‘කටුවැල්ලේගම සුරේෂ්’ නමැති සැකකරුය. ව්‍යායාම කිරීම සඳහා තමන්ට ලබා දුන් කාලය මදි යැයි පවසමින් ඔහු බන්ධනාගාර නිලධාරීන් සමඟ කලහකාරී ලෙස හැසිරී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුව L වාට්ටුව වෙත යොමු කර තිබේ. කෙසේ වෙතත්, එහිදී ද ඔහු නැවත ගැටුමක් ඇති කරගෙන ඇති අතර, පසුව ඔහුව නැවතත් A1 වාට්ටුව වෙත දැමීමට නිලධාරීන් පියවර ගෙන ඇත. එහිදී ද ඇති වූ ගැටුම උත්සන්න වීම හමුවේ මුල් අවස්ථාවේදීම රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇති බවට අධිකරණයට වාර්තා කර ඇත.
