දෙමළ හා මුස්ලිම් පක්ෂ එක්වී ඇත්තේ නව ව්‍යවස්ථාවක්, පළාත් සභා හා ඉඩම් අයිතිය වෙනුවෙන්

දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇත්තේ කරුණු තුනක් සම්බන්ධයෙන් බව වාර්තාවේ.
ඒ පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ආණ්ඩුවට බල කිරීම, පළාත් සභා ඡන්ද විමසීම් කඩිනමින් පැවැත්විය යුතු බවට ආණ්ඩුවට බල කිරීමට හා රාජ්‍ය මැදිහත් වීම මත උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව කතා කරන ජනතාවට අයත් ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව කටයුතු කිරීම සඳහාය.

ඒ සම්බන්ධයෙන් ජුලි 13 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වූ වහාම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වූ බව හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙෂ කටයුතු කළ බවයි.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු මහ ලේකම් එම් ඒ සුමන්තිරන් එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ බලයට පත්ව වසරක් යෑමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්ඩුව පොරොන්දු වුවද වසර තුනක කාලයක් එය වසරින් වසර කල් දමමින් සිටින බවයි.
එමෙන්ම එහිදී එම්. ඒ සුමන්තිරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මහවැලි අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ආරක්ෂක හමුදා විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින සිය ජනතාවගේ ඉඩම් වහා නිදහස් කළ යුතු බවයි.

එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොන්ඩමාන්ද සහභාගි වී ඇත.

එහිදී ඒ සඳහා එක්වූ පක්ෂ කියා ඇත්තේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ඔවුන් එසේ එක්ව කටයුතු කරන බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading