මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම බේරීමට ගිය බන්ධ පොලිස් නිලධාරීන්ට දැල් දොර පැත්තට දිව යාමට අවබෝධයක් නොතිබූ බැවින් ඔවුන් ඇතුළේ සිරවී ඇති අතර එහිදී රැඳවියන් ඔවුන්ට මැරෙන තුරුම පහර දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දන්වා සිටියේය.
පොලිස් හදිසි උපක්රමික බලකායේ බන්ධ පොලිස් නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු ඝාතනය වීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 287 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
වාණිජ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි සියලුම රැඳවියන්ගෙන් සාක්ෂි ලබාගත යුතු බැවින් දැනට දිවයින පුරා විවිධ බන්ධනාගාරවල රඳවා සිටින එම රැඳවියන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ඒ අනුව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය විසින් අදාළ නියෝගය නිකුත් කරනු ලැබීය.
පසුගිය 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශයේ සහකාර පොලිස් පරීක්ෂක කළුආරච්චි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දක්වන ලදී.
එහිදී එම නිලධාරීන් සඳහන් කළේ හඳුනාගනු ලබන සියලුම සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා, ගිනිඅවි පනත සහ පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 යන වගන්ති සහ ඉහත පනත් යටතේ වැරදි සිදුකර ඇති බවද නිලධාරීන් පැවසූහ.
එමෙන්ම ඝාතන සඳහා යොදාගත් ආයුධ සොයාගෙන ඇති අතර ජීව උණ්ඩ සහිත ගිනිඅවි 60ක් නඩු භාණ්ඩ කාමරයට භාර දී ඇති බවත් බන්ධනාගාරය තුළ සිදු කළ සෝදිසි කිරීම්වලදී ටී 56 උණ්ඩ සහ මිලිමීටර් 9 ප්‍රමාණයේ උණ්ඩ 271ක් සොයාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ දන්වා සිටියේය.
එමෙන්ම රැඳවියන් විසින් බන්ධනාගාරයේ සීසීටීවී කැමරාවල DVR යන්ත්‍ර විනාශ කර තිබුණද, එහි තිබී සොයාගත් දෘඩ තැටි දෙකක් මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය වෙත යොමු කර දර්ශන විශ්ලේෂණය කිරීමට මහෙස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.
සිදු වූ මරණ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරිපත් කළ කෙටි මරණ පරීක්ෂණ වාර්තා තුනක් ඉදිරිපත් කෙරුණු අතර ඒවායේ දැඩි ලෙස පහරදීම්, වෙඩි වැදීම් සහ විවෘත තීන්දු පිළිබඳව සඳහන් වන බව දැනුම්දුන්නේය.
එමෙන්ම නිලධාරින් දැනුම්දුන්නේ, රාත්රියේදී මියගිය බන්ධනාගාර නිලධාරියාගේ සහ ඉන්දීය ජාතිකයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා හැරුණු කොට අනෙක් සියලුම පරීක්ෂණ සිදු කර අවසන් බවයි.
මුල්ම සිදුවීම පසුගිය 05 වැනිදා උදෑසන ආරම්භ වී ඇති බවද නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.
එමෙන්ම බන්ධනාගාරයේ A1 වාට්ටුවේ රඳවා සිටි කටුවැල්ලේගම සුරේෂ් නැමැති අංක 4423 දරන සුරේෂ් පුෂ්පකුමාර නැමැති සැකකරු, තමන්ට ව්‍යායාම සඳහා ලැබුණු කාලය මදි බව පවසමින් නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බවත් ඒ හේතුවෙන් ඔහුව L වාට්ටුවට මාරු කර ඇති අතර එහිදීද ගැටුමක් ඇති කරගැනීම නිසා නැවත A1 වාට්ටුවට යොමු කර ඇති බවත් නිලධාරින් පැවසූහ.
එහිදී සිදු වූ පහරදීමෙන් මුල් අවස්ථාවේදීම රැඳවියන් දෙදෙනෙකු මියගොස් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
එම නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට යාමේදී රැඳවියන් විසින් සමස්ත බන්ධනාගාරයේම පාලනය තමන් සතු කරගෙන ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් මේ පිළිබඳව මීගමුව පොලිසියට සහ මීගමුව අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නද, පොලිස් නිලධාරීන්ට අපරාධ ස්ථානය පරීක්ෂා කිරීමට රැඳවියන් ඉඩ ලබා දී නැති බව නිලධාරින් සඳහන් කළේය.
පසුදින වනතුරුම බන්ධනාගාරයේ පාලනය රැඳවියන් සතුව පැවති බැවින් නිලධාරීන් විසින් කොළඹින් බන්ධ පොලිස් නිලධාරීන් 89 දෙනෙකු ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ. ඒ වන විට බන්ධනාගාරය තුළ වාට්ටු 16ක රැඳවියන් 2,417ක් සිරකරුවන් 162ක් සහ රිමාන්ඩ් සිරකරුවන් 2,255ක්, එමෙන්ම කාන්තාවන් 161ක් සහ 2256ක් සහ කාර්ය මණ්ඩල නිලධාරීන් 161 දෙනෙකු සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ කියා සිටියේය.
06 වැනිදා උදෑසන ආහාරය ලබාදීමට යාමේදී “සර්ලා එන්න එපා, ඉක්මනින් මෙතනින් යන්න” යනුවෙන් රැඳවියන් ප්‍රකාශ කර ඇති අතර පෙරවරු 10.30ත් 10.50ත් අතර කාලයේදී ගැටුම නැවත හටගෙන තිබේ.
එහිදී රැඳවියන් මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට පහර දී ඇති අතර ඔවුන් දිව ගොස් දැල් දොර අසලින් බේරීමට සමත් වී ඇති නමුත් රණ්ඩුව බේරීමට ගිය බන්ධ පොලිස් නිලධාරීන්ට දැල් දොර දෙසට දිව යාමට අවබෝධයක් නොතිබූ බැවින් ඔවුන් ඇතුළේ සිරවී රැඳවියන්ගේ අමානුෂික පහරදීමට ලක් වි ඇති බව නිලධාරින් දන්වා සිටියේය.
ඔවුන් පවසන්නේ, පසුව රැඳවියන් අවි ගබඩාව කඩා තුවක්කු පැහැරගෙන වෙඩි තැබීමත් සමඟ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වෙඩි තබා තත්ත්වය පාලනය කර ඇති බවයි.
මේ වන විට විමර්ශන කණ්ඩායම් තුනක නිලධාරීන් 40 දෙනෙකු පරීක්ෂණ පවත්වන අතර ඉදිරි දිනවලදී සැකකරුවන් නම් කිරීමට නියමිතයි.
සිදු වූ දේපළ හානිය තක්සේරු කිරීමට තක්සේරු දෙපාර්තමේන්තුවට නියෝගයක්ද බන්ධනාගාරයේ සීසීටීවී කැමරා සවි කළ යුද හමුදා සංඥා බලකාය මඟින් අන්තර්ජාලය තුළ පටිගත වී ඇති දර්ශන ලබාගැනීමට තවත් නියෝගයක්ද නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි අතර මහෙස්ත්‍රාත්වරිය එම සියලු නියෝග ලබා දුන්නාය.
කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ලබන 16 වැනිදා ඉදිරිපත් කරන ලෙසත් මෙතෙක් සාක්ෂි කැඳවා නොමැති මරණ සඳහා සාක්ෂි කැඳවීමට කටයුතු සූදානම් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
