වනජීවී නිලධාරීන්ට අද අසනීපයි…

සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් , වනජීවී දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ ඇත.

මීට සමගාමීව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද දින දහවල් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සංවිධානය කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ථලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා අවධාරණය කළේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෘත්තීය සමිති සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව අත්තනෝමතික ලෙස ක්‍රියා කරන බවයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින්, වර්තමානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන අයුරින් සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට උත්සාහ කරන බව සමස්ථලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා චෝදනා කරයි. සිවිල් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමට තමන් විරුද්ධ නොවන බවත්, පවතින බඳවා ගැනීමේ ක්‍රමවේදයේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය අත්තනෝමතික භාවය හේතුවෙන් වෘත්තීය සමිති සමඟ කිසිදු සාකච්ඡාවක් නොකර, හිතුමතේට වැරදි ආකාරයෙන් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරන බව පීරිස් මහතා පෙන්වා දෙයි. මෙම ක්‍රියාවලිය හේතුවෙන් ක්ෂේත්‍ර සහයක සහ ද්විතීයික මට්ටමේ නිලධාරීන් පමණක් නොව, වනසත්ව නියාමක, අඩවි සහකාර සහ අඩවි ආරක්ෂක ඇතුළු දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම ශ්‍රේණිවල නිලධාරීන්ට බරපතල වෘත්තීය හානියක් සිදුවන බව ඔහු අවධාරණය කරයි.

ජූලි 13 වැනිදාට පෙර තමන්ට සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියද, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සඳහා මෙතෙක් කිසිදු අවස්ථාවක් ලබා දී නොමැති බැවින් වර්තමාන නොසන්සුන් තත්ත්වය නිර්මාණය වූයේ ඔහුගේම ක්‍රියාකලාපය නිසා බව සභාපතිවරයා පවසයි. මෙම තත්ත්වයට විරෝධය පළ කරමින් අද (13) දිනයේ බත්තරමුල්ල පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති අතර, ඊට සමගාමීව ක්ෂේත්‍රයේ බොහෝ නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටින බව ද ඉන්දික පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading