මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යවා ඇති සිරකරුවන් දෙදෙනෙකුට නීතිමය උපදෙස් ලබාදීම බන්ධනාගාර නිලධාරීන්ගේ ඇහුම්කන් දීමට යටත්ව සිදුකරන ලෙස කරන ලද දැනුම් දීමක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඇතුළු නීතිඥ කණ්ඩායමක් ප්‍රතික්ෂේප කර තිබේ.
අනුමැතිය ලබා ගැනීමෙන් පසු සිරකරුවන් දෙදෙනාට නීති උපදෙස් ලබාදීම සඳහා අද (ජුලි 13) නීතිඥ සේනක පෙරේරා ඇතුළු නීතිඥ කණ්ඩායම වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති අතර බන්ධනාගාර නිලධාරීන්ද සිටින ඉතා කුඩා ඉඩක සිරකරුවන් සමඟ නීතිඥයින්ට කතා කරන ලෙස දැනුම් දී ඇත.
එහිදී බන්ධනාගාර නිලධාරීන් අසා සිටින විට එම නීති උපදෙස් ලබාදීම සිදුකළ නොහැකි බව නීතිඥයින් පෙන්වා දී ඇති අතර එය අධීක්ෂණය කිරීම වශයෙන් බන්ධනාගාර නිලධාරීන් හඳුන්වා ඇත. එම අධීක්ෂණය ඇහුම්කන් නොදෙන අධීක්ෂණයක් විය යුතු බව නීතිඥයින් පෙන්වා දී ඇතත්, ඇහුම්කන් දීමද අධීක්ෂණයට ඇතුළත් බවට කළ දැනුම් දීම හමුවේ එයට විරෝධය පළකරමින් නීතිඥ කණ්ඩායම ආපසු පැමිණ තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් වන විරෝධය වැඩ බලන බන්ධනාගාර කොමසාරි ජෙනරා්ල්වරයාට ඒ මොහොතේම නීතිඥ කණ්ඩායම විසින් ලිඛිතව දන්වා තිබේ.
