විනිසුරු රැස්වීම ආණ්ඩුවට එරෙහි තීන්දුවක් ගනී! ගණපූර්ණය නැති බවට විවේචනයක්!

මෙරට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට සූදානම් වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ නිර්මාණය වී ඇති අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ, අධිකරණ සේවා සංගමය විසින් කැඳවා තිබූ විශේෂ මහා සභා රැස්වීම ජුලි 11 වැනිදා පැවැත්විණි.

එම රැස්වීමේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීම සදහා රජය මේ වන විට උත්සාහ කරන බවත්, එයට විරුද්ධ විය යුතු බවත් රැස්වීමට සහභාගී වූ සියලු විනිසුරුවරුන් ඒකමතිකව තීන්දු කර ඇත.

මෙම විශේෂ මහා සභා රැස්වීමට විනිසුරුවරුන් 65 දෙනෙකු සහභාගී වී තිබුණි. කෙසේ වෙතත් එම සංඛ්‍යාව සංගමයේ සාමාජිකත්වයෙන් තුනෙන් එකකට වඩා අඩු සංඛ්‍යාවක් බව මෙම රැස්වීමට විරෝධය දැක්වූ විනිසුරුවරුන් පෙන්වා දී තිබේ.

උක්ත තීන්දුවට මෙම සහභාගී වූ 65 දෙනා විසින් ඒකමතිකව තම විරෝධය ප්‍රකාශ කරමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇත.

උක්ත රැස්වීම පැවැත්වීමට පෙර සිටම අධිකරණ ක්ෂේත්‍රය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.

රැස්වීම කැඳවීමේ ක්‍රමවේදය සහ ව්‍යවස්ථාපිත අනුමැතිය සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු පෙන්වා දී තිබුණේ සංගමයේ සාමාජිකයින්ගේ ප්‍රමාණවත් සහභාගීත්වයක් නොමැතිව රැස්වීම් පැවැත්වීම සහ විධායක කමිටුවේ තීරණ වෙනස් කිරීම නීත්‍යානුකූල නොවන බවයි.

සභාපතිවරයාගේ විරෝධතා මැද වුවද, සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ මහතා ඇතුළු විධායක කමිටුවේ පිරිසක් විසින් රැස්වීම පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය මෙම සංශෝධනය ගෙන ඒමට දැඩි උත්සාහයක නිරත වුවද, ඇතැම් නීති විශාරදයින් සහ විද්වතුන් පෙන්වා දෙන්නේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙවැනි සංශෝධනයක් පිළිබඳ කිසිදු සඳහනක් නොතිබූ බවයි. අධිකරණ සේවා සංගමයේ සාමාජිකයින්ට මෙම රැස්වීමට සහභාගී වීම වැළැක්වීමට විවිධ පාර්ශ්වයන් උත්සාහ දැරූ බවට සහ බලපෑම් කළ බවට චෝදනා එල්ල වේ.

විනිසුරුවරුන් වැනි නීතිය පසිඳලන උසස් නිලධාරීන්ට මෙවැනි බලපෑම් එල්ල වීම, ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියේ ආධිපත්‍යය පිළිබඳව  භයානක චිත්‍රයක් ගෙන එන බව එම පිරිස් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මෙම යෝජිත සංශෝධනය “අගවිනිසුරුගේ කාලය දිගු කිරීමක්” ලෙස අර්ථ දැක්වීම නිවැරදි නොවේ. මෙම යෝජිත සංශෝධනය සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම උදෙසා වූ සංශෝධනයකි.

නීතිමය වශයෙන් ගත් කල, මෙම සංශෝධනය අගවිනිසුරුවරයාට පමණක් බලපාන අයුරින් නොව, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කරන සාමාන්‍ය නීතියකි. එබැවින් මෙය “පුද්ගලික සේවා දිගුවක්” ලෙස හැඳින්වීම නීතිමය වශයෙන් අසත්‍ය වේ.

කෙසේ වෙතත් ඇතැම් පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ මෙය හුදෙක් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණයක් නොව, වත්මන් අගවිනිසුරුවරයා රඳවා ගැනීමේ පටු දේශපාලන අරමුණින් කරන “පුද්ගලික මෙහෙයුමක්” බවයි. අගවිනිසුරුවරයාගේ සේවා කාලය නිම වීමට ආසන්න මොහොතක, මහජන උපදේශනයකින් තොරව හදිසියේ ගෙන එන සංශෝධනයක් බවයි.

කෙසේ වෙතත් මෙම සංශෝධනය පිළිබද රජයේ නිල මතය තවමත් ප්‍රසිද්ධ කර නොමැත.

Author

Related Posts