ප්‍රගතිශීලී කියන ලේබලයෙන් ගේන කම්කරු නීති සංශෝධන, අන්ධ භක්තියෙන් පිළිගන්න අපි සූදානම් නෑ – චතුර

ප්‍රගතිශීලී රජයක් යන නාමකරණය යටතේ වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත කම්කරු නීති සංශෝධන, හුදු අන්ධ භක්තියකින් යුතුව පිළිගැනීමට රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය සූදානම් නොමැති බව ලංකා වතු සේවා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද (10) හෝමාගම Dr. T. A. G. Gunasekara Multifunction Hall හිදී පැවැත්වුණු ලංකා බැංකු සේවක සංගමයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනය අමතමිනි.

පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නියෝජනය කරමින් අදහස් දැක්වූ චතුර සමරසිංහ මහතා, ලංකා බැංකු සේවක සංගමයේ වසර 83ක අභිමානවත් ඉතිහාසය ඇගයීමට ලක් කළ අතර, වසර 105ක ඉතිහාසයක් ඇති ලංකා වතු සේවා සංගමය වඩාත්ම සමීපව කටයුතු කළ “නිවුන් සහෝදරයා” බඳු සංගමය බැංකු සේවක සංගමය බව ද සිහිපත් කළේය.

පසුගිය දශක තුනක කාලය පුරා රටේ මහා සම්පතක් වූ රාජ්‍ය බැංකු පද්ධතිය කෑලිවලට කඩා පෞද්ගලික අංශයේ මුදලාලිලාට පැවරීමට පාලකයන් උත්සාහ කළ ද, එය වැළැක්වූයේ බැංකු සේවක සංගමයේ අඛණ්ඩ අරගල බව ඒ මහතා පෙන්වා දුන්නේය. අදටත් රාජ්‍ය බැංකු පද්ධතිය මහජන සම්පතක් ලෙස ඉතිරිව ඇත්තේ එම සටන්කාමීත්වය නිසා බව ද ඔහු ප්‍රකාශ කළේය.

වත්මන් ආර්ථික හා සමාජයීය තත්ත්වයන් හමුවේ කම්කරු නීති සංශෝධනය විය යුතු බව පිළිගන්නා නමුත්, පවතින නීති මඟින් කම්කරුවාට ලැබී ඇති ආරක්ෂාව ඉවත් කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බව ලේකම්වරයා මෙහිදී පැවසීය.

“පසුගිය වසර 15-20 පුරා පාලකයන් ගෙනා කම්කරු නීතිවලින් සිදුවුණේ වැඩ කරන පැය ගණන වැඩි කිරීම, සටන් කරන අයිතිය මොට කිරීම සහ වැඩ වර්ජන අයිතිය උදුරා ගැනීමයි. අද රටේ අලුත් දේශපාලන තත්ත්වයක් තිබුණත්, යෝජිත නව කම්කරු නීති සංශෝධන අප තවම දැක නැහැ. නමුත් එහි යම් යම් ඉඟි පළවෙමින් තිබෙනවා.”

ජනාධිපතිවරයා විසින් වරාය නගරයේ කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ පනත අහෝසි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ ද, ඉන් කොටස් දෙකක් ඉවත් කර කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමට කටයුතු කර ඇති බව චතුර සමරසිංහ මහතා අනාවරණය කළේය. වෘත්තීය සමිති එක්ව අධිකරණ ක්‍රියාමාර්ග හරහා එය පාලනය කිරීමට මැදිහත් වූ බව ද ඔහු සඳහන් කළේය.

එසේම, වත්මන් පාලක පන්තිය සහ ව්‍යාපාරික ප්‍රජාව අත්දෙකම ඔසවා පිළිගන්නා EPF සහ ETF අරමුදල් ඒකාබද්ධ කිරීමේ සූදානමක් ද කරළියේ පවතින බැවින්, ඒ පිළිබඳව වෘත්තීය සමිති දැඩි අවදියෙන් සහ ගැඹුරු සැලකිල්ලකින් පසුවන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

පාලකයන්ගේ මෙම උත්සාහයන්ට එරෙහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති සටනක් පවතින බව පෙන්වා දුන් සමරසිංහ මහතා, වැඩකරන ජනතාව සන්නද්ධ කරමින් ජාතික හා ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා ලංකා බැංකු සේවක සංගමය ගන්නා ඕනෑම ප්‍රගතිශීලී පියවරකට ලංකා වතු සේවා සංගමයේ උපරිම සහයෝගය සහ සහෝදරත්වය පිරිනමන බව පවසා සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading