රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට සහාය පළකරමින් කරුණු දැක්වීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් ජුලි 17 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.
බෙංගමුවේ නාලක හිමි, දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පාර්ශව කිහිපයක් විසින් එම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සම් අද (ජුලි 10) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය හා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය කර ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව සුරේෂ් සලේ විසින් එම රිට් පෙත්සම ගොනුකර ඇත.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එම අතරමැදි පෙත්සම් සලකා බැලීමට හැකියාව තිබෙන්නේ මුල් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණ නොතිසී නිකුත් කරනු ලැබුවහොත් පමණක් බවය.
මෙම නඩුකරය මේ වනවිට මහජන අවධානයට පාත්‍ර වී ඇති බැවින් ඊට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා ඇතත් අභියාචනාධිකරණයේ සභාපති විනසුරුවරයා දැනුම් දී ඇත්තේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා කරුණු දැක්වීමෙන් පසු එසේ අවසර ලබාදිය හැකි බවයි.
