ලියාපදිංචි නොවී නීත්‍යානුකූල නොවන ආකාරයට ඔන්ලයින් මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ කැසිනෝ පවත්වාගෙන යන බවත්, ඒවා නියාමනය කිරීමට ආයතනයක් ඇතිකර නොමැති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (ජුලි 09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටතුළ භෞතිකව කැසිනෝ පවත්වාගෙන යෑමට ලියාපදිංචි වී බලපත්‍ර ලබාගත් අයට ඒ ආකාරයට හැර ඔන්ලයින් ක්‍රමයට කැසිනෝ පවත්වාගෙන යෑමට බැරි බවත්, එහෙත් ඒ ආකාරයේ බලපත්‍රලාභීන් ඔන් ලයින් ආකාරයට නීති විරෝධිව කැසිනෝ පවත්වාගෙන යන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඒ මගින් කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද, තමා එය නිර්භීතව පෙන්වා දෙන බවද මන්ත්‍රීවරයා කීවේය.
එසේ ඔන්ලයින් ක්‍රමයට කැසිනෝ පවත්වන අයගෙන් දේශීය බදු අය නොවන බවත්, ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලයක් විදුලි සංදේශ නියාමන කොමිසමට නැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඒ සඳහා අලුතෙන් නීති ගෙන එන එක හොඳ බවත්, එහෙත් එම නීති ක්‍රියාත්මක විය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා එම අදහස් පළකළේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත හා ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයට එක්වෙමිනි.
