බාධාවකින් තොරව බන්ධනාගාර පරීක්ෂාවට ඉඩ දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස්ට මානව හිමිකම් කොමිසමෙන් නියෝග

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයෙන් පසුව රටේ අනෙකුත් බන්ධනාගාර තුළ ද නොසන්සුන්කාරී වාතාවරණයක් වාර්තා වෙමින් පවතින පසුබිමක, ඕනෑම අවස්ථාවක බන්ධනාගාර පරිශ්‍රයන් පරීක්ෂා කිරීමට පැමිණෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට ඒ සඳහා බාධාවකින් තොරව වහාම ප්‍රවේශය ලබා දිය යුතු බවට මානව හිමිකම් කොමිසම විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඊයේ දින (08) දැඩි නියෝග නිකුත් කර තිබේ.

පසුගියදා මිගමුව සහ වැලිකඩ බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගිය කොමිසමේ ක්ෂණික ප්‍රතිචාර ඒකකයේ නිලධාරීන්ට “රාත්‍රී කාලය” බව පවසමින් ඇතුළු වීමට අවසර නොදීම ඇතුළු සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා මානව කොමිසමේ සභාපති විසින් බන්ධනගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව, කොමිෂන් සභා නිලධාරීන්ගේ පරීක්ෂණ කටයුතුවලට හෝ රැඳවියන්ගේ සුභසාධනය සොයා බැලීමේ කටයුතුවලට කිසිදු බාධාවක් සිදු නොකර, ඕනෑම වේලාවක ඔවුන්ට බන්ධනාගාර වෙත ඇතුළු වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දිය යුතු බවට දිවයිනේ සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් සහ ප්‍රධාන ජේලර්වරුන් ඇතුළු සමස්ත බන්ධනාගාර කාර්ය මණ්ඩලය වෙත වහාම ලිඛිත නියෝග සහ උපදෙස් නිකුත් කරන ලෙස කොමිෂන් සභාව බන්ධනාගාර ප්‍රධානියාට වැඩිදුරටත් දන්වා සිටියි.

මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ 2026 ජූලි 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ හටගත් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් රැඳවියන් 21 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙම සිදුවීම විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ද විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වයෙන් පසු රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් අඟුණකොළපැලැස්ස, බූස්ස, යාපනය, දුම්බර, මඩකලපුව සහ වැලිකඩ යන බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, එලෙස මාරු කරන ලද රැඳවියන් පිරිසක් 2026 ජූලි 7 වනදා සවස් කාලයේදී වධහිංසා පැමිණවීම් සහ අයහපත් සැලකිලිවලට ලක්ව ඇති බවට මානව හිමිකම් කොමිසම වෙත තොරතුරු ලැබී ඇත. මේ අතර වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී සිරකරුවෙකු මියයාමේ සිද්ධියක් ද වාර්තා වී තිබේ.

කොමිසමේ නිලධාරීන්ට වැලිකඩට ඇතුළුවීම ප්‍රතික්ෂේප කරයි

ලැබුණු තොරතුරු මත රැඳවියන්ගේ සුභසාධනය සොයා බැලීම සඳහා ජූලි 7 වනදා රාත්‍රී 8.30 ට පමණ මානව හිමිකම් කොමිසමේ ක්ෂණික ප්‍රතිචාර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් ඇත. නමුදු “රාත්‍රී කාලය” බව පවසමින් වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් විසින් කොමිසමේ කණ්ඩායමට ඇතුළුවීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ පිළිබඳව කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර සිටී. 1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 11(d) සහ 28(2) වගන්ති ප්‍රකාරව ඕනෑම රැඳවුම් භාරයක් පරීක්ෂා කිරීමට කොමිසමට පූර්ණ නීතිමය බලය ඇති බව එහිදී සිහිපත් කර දී ඇත.

බන්ධනාගාර තුළ සිදුවන මරණ සහ අයහපත් සැලකිලි සම්බන්ධයෙන් 2020 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ‘බන්ධනාගාර අධ්‍යයන’ වාර්තාව ද කොමිසම මෙහිදී සිහිපත් කර තිබේ. බන්ධනාගාර තුළ පවතින සම්පත් සහ කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් සිරකරුවන්ට ඉතා අවදානම් සහගත පරිසරයක් නිර්මාණය වී ඇති බවත්, අපරාධ කල්ලි සාමාජිකයින් නිසි ලෙස වෙන්කර තැබීම (19/2014 අපරාධ චක්‍රලේඛය අනුව) සහ බලය අවභාවිත කිරීම වැළැක්වීම (ස්ථාවර නියෝග 15 වන වගන්තිය) වැනි නිර්දේශ නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත් කොමිසම අවධාරණය කරයි.

පවතින තත්වයන් යටතේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සම්පූර්ණයෙන් සහ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතු නියමයන් කිහිපයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කිරීමට කටයුතු කිරිම අපේක්ෂා කරන බව පවසයි.පහත කාරණා සම්බන්ධයෙන් එම නියෝග නිකුත් කෙරෙනු ඇත.

  1. ඕනෑම අවස්ථාවක එවැනි රැදවියන් පරීක්ෂා කිරීමට පැමිණෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම සඳහා කටයුතු කළ යුතු බවට සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් සහ ප්‍රධාන ජේලර්වරුන් ඇතුළු සියලුම බන්ධනාගාර නිලධාරීන්ට ලිඛිතඋපදෙස් නිකුත් කළ යුතුයි.
  2. මීගමුව බන්ධනාගාරයෙන් මෑතකදී මාරු කරන ලද සිරකරුවන් ඇතුළුව, ඔවුන්ගේ භාරයේ සිටින ඕනෑම සිරකරුවෙකුට එරෙහිව වධහිංසා පැමිණවීම හෝ වෙනත් ආකාරයේ අයහපත් සැලකිලි ඇතුළුව ඕනෑම පළිගැනීමේ ආදී ක්‍රියාවකින් වැළකී සිටින ලෙස සියලුම බන්ධනාගාර නිලධාරීන්ට ලිඛිත උපදෙස් නිකුත් කිරීම.
  3. මීගමුව, අඟුණකොළපැලැස්ස, බූස්ස, යාපනය, දුම්බර, මඩකලපුව සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් කෙරෙහි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සියලු සාක්ෂි සංරක්ෂණය කිරීමට සහ එවැනි සාක්ෂි විනාශ කිරීමෙන් හෝ විකෘති කිරීමෙන් වැළකී සිටීමට සියලුම බන්ධනාගාර නිලධාරීන්ට ලිඛිතඋපදෙස් නිකුත් කිරීම.
  4. අඟුණකොළපැලැස්ස, බූස්ස, යාපනය, දුම්බර, මඩකලපුව සහ වැලිකඩ බන්ධනාගාර වල රැඳවියන් වධහිංසා පැමිණවීම හෝ වෙනත් ආකාරයේ අයහපත් සැලකිලිවලට ලක් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම, එවැනි ක්‍රියාවන්හි නිරත වූ බවට හෝ එවැනි ක්‍රියාවන් වැළැක්වීමට අපොහොසත් වූ බවට සොයා ගන්නා ලද ඕනෑම නිලධාරියෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සහ එවැනි විමර්ශනය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් HRCSL වෙතලබා දීම.
  5. මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩත්වය සහ ඉන් පසුව අනෙකුත් බන්ධනාගාර වල ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වත්මන් විමර්ශනයට පූර්ණ සහයෝගය ලබා දීම.

Author

Related Posts