මීගමුව බන්ධනාගාරයේ පෙරේදා සහ ඊයේ ඇති වූ ගැටුම් සහ මරණ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය හරෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවේදී අද (07) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී. මෙම සිදුවීම කිසිසේත්ම සිදු නොවිය යුතුව තිබූ බරපතල ඛේදවාචකයක් බවත්, රජය විසින් මෙය කිසිදු ලෙසකින් අවතක්සේරු නොකරන බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා සහ මිලින්ද ගුණතිලක මහතාගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් ජනාධිපති ලේකම්වරයා විසින් පත් කර ඇති බවත් මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්ද වෙනම අභ්‍යන්තර විමර්ශන ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය. එසේම ආරක්ෂිත පියවරක් ලෙස සිද්ධිය මෙහෙයවීමට සම්බන්ධ වූ රැඳවියන් 734 දෙනෙකු වහාම වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට කටයුතු කර තිබේ.
මෙම තත්ත්වය සිදු නොවිය යුතුව තිබුණු දෙයක්. මෙය ඛේදවාචකයක්. කිසිදු අම්මා කෙනෙක්, තමන්ගේ දරුවා රිමාන්ඩ් එකට ගිහිල්ල පෙට්ටියක එයි කියලා කල්පනා කරන්නේ නැහැ. කිසිදු බිරිඳක් ස්වාමිපුරුෂයෙක්, තමන්ගේ සහෝදරයා, රස්සාවට ගිහිල්ලා, රස්සාව කරන්න ගිහිල්ලා ජීවිතය නැති කරගෙන පෙට්ටියක ඒවි කියලා හිතන්නේ නැහැ. ඒ නිසා ඒ දෙපාර්ශවයටම ඒ තියෙන වේදනාව, ඒ තියෙන අපේක්ෂාභංගත්වය ආණ්ඩුව වෙත මුදාහැරීමත්, අපි ඒ ආකාරයෙන් බාරගත යුතු වෙනවා. ඒ නිසා මමත්, අපේ රජයත් කොයිම අවස්ථාවකවත් මෙම සිද්ධිය අවතක්සේරු කරන්නෙ නැහැ, සුළුවෙන් තකන්නෙත් නැහැ. මෙය බරපතල ඛේදවාචකයක්.. යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
රජයක් වශයෙන් වගකීම විය යුත්තේ ඉස්සෙල්ලම වෙච්ච වැරදීම් වලින් තේරුම් ගෙන, එම වැරදි නිවැරදි ගැනීම වන අතර, මේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශන මේ වන විට පැවැත්වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා. මෙහිදී සිදුවූ ආරක්ෂිත ගැටළු මොනවාද, බන්ධනාගාර තදබදය හෝ වෙනත් හේතුවක් නිසා මේ තත්ත්වය ඉස්මතු වූයේද යන සියලුම කරුණු සොයා බලා, මෙය නැවත නොවෙන ආකාරයට සකස් කිරීම රජයේ ප්‍රධාන වගකීම බව ඔහු සඳහන් කර සිටියා.
බන්ධනාගාර පද්ධතිය තුළ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජයක් වශයෙන් පවතින වගකීම තමන් භාරගන්නා බවත් මෙම ප්රශ්නය විසඳීම සඳහා ඉතාමත් උවමනාවෙන් මැදිහත් වන බවත්ය. ඒ අනුව, සිදුවූ සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීමටත්, මෙවැනි තත්ත්වයන් ඉදිරියට තවදුරටත් සිදුවීමට ඉඩ නොතබා අනෙකුත් සිරගෙවල් තුළ මෙවැනි සිදුවීම් වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමටත් හෙට උදෑසන 7:30 වන විට බන්ධනාගාරවල සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමන් වෙත කැඳවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

He need to resign