ක්‍රිෂ් නඩුව නොවැම්බර් 16 වැනිදාට – CIDය සහය නොදක්වන බව මහාධිකරණ විනිසුරුවරිය කියයි

සුප්‍රකට “ක්‍රිෂ්” ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව, වැඩිදුර විභාගය සඳහා ලබන නොවැම්බර් මස 16 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (ජූලි 07) නියම කර තිබේ.

නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර, ඒ සඳහා විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය. නමුත් නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිට නැත.

මෙම නඩුවේ විභාග කටයුතුවලට සහ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් නිසි සහයෝගයක් ලබා නොදෙන බව මහාධිකරණ විනිසුරුවරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කර තිබේ. විනිසුරුවරිය වැඩිදුරටත් සඳහන් කළේ එම කරුණ අධිකරණ වාර්තාවල විශේෂ සටහනක් ලෙස තබන බවයි.

නඩු විභාගය අතරතුර කරුණු දැක්වූ රජයේ නීතිඥවරිය, මෙම නඩුවට අදාළ වැදගත් ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඇතුළු විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය සඳහා චෝදනාවල සංක්ෂිප්ත පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන බව පැවසුවාය.

නඩුවට අදාළ සිතාසි නිකුත් කිරීමේ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙම නඩුකරය සැප්තැම්බර් මස 22 වන දා කැඳවන ලෙස ද විනිසුරුවරිය නියෝග කර ඇත.

ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ඉන්දීය ‘ක්‍රිෂ්’ සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන එය සාපරාධී ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

මේ වන විට මෙම නඩුවට අදාලව කටයුතු කරන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය (FCID)ය වන අතර ඊයේ දිනයේ කිසිදු FCID මෙම නඩුවට අදාළව මහාධිකරණයේ පෙනී සිට නැත.

Author

Related Posts