2023 වසරේදී ‘ප්රෙඩ්නිසිලෝන් ඇසිටේට්’ (Prednisolone Acetate) නමැති දියරමය අක්ෂි ඖෂධය භාවිත කිරීම හේතුවෙන් පෙනීම අහිමි වූ තවත් රෝගීන් සිව්දෙනෙකු සඳහා රුපියල් මිලියනය බැගින් වන්දි ලබා දීමට අමාත්ය මණ්ඩලයේ එකඟතාව ලැබී තිබේ. සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත.
2023 මාර්තු 03 සහ මැයි 16 අතර කාලය තුළදී නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලේදී අක්ෂි සැත්කම්වලට භාජනය වීමෙන් පසු මෙම ඖෂධය භාවිත කිරීම නිසා රෝගීන් කිහිප දෙනෙකුගේ ඇස් පෙනීම අහිමි වීම සහ තවදුරටත් දුර්වල වීමේ සිදුවීම් වාර්තා විය. ඒ පිළිබඳව සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව, පෙනීම අහිමි වූ රෝගීන් 17 දෙනෙකු සඳහා මේ වන විටත් වන්දි ලබා දී අවසන්ය.
කෙසේ වෙතත්, අදාළ කාල සීමාව තුළදීම නුවරඑළිය රෝහල හැර දිවයිනේ අනෙකුත් රෝහල්වලදී මෙම අක්ෂි ඖෂධය භාවිත කිරීම නිසා පීඩාවට පත් වූ රෝගීන් පිළිබඳව සොයා බැලීමට විශේෂඥ තාක්ෂණික කමිටුවක් පත් කර තිබුණි.
එම කමිටුව විසින් සිදු කරන ලද පරීක්ෂණ වාර්තා මත පදනම්ව, අන්ධභාවයට පත් වූ තවත් රෝගීන් සිව්දෙනෙකු සඳහා මෙලෙස රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවීමට නිර්දේශ කර ඇති අතර, ඒ සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
