ජූලි 4 සහ 5 දෙදින මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් 07 දෙනාගේ සහ රැඳවියන් 20 දෙනාගේ මෘත දේහයන් සම්බන්ධයෙන් වහාම පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා, එම මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (07) නියෝග කර තිබේ.
මීගමුව මූලස්ථාන රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්.එස්.ආර්. වික්‍රමරත්න මහතා වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.
මීට අමතරව, මියගිය පුද්ගලයන්ගේ පවුල්වල භාරකරුවන් සහ ඥාතීන්ගෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගෙන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිම කිරීමෙන් පසු, එම දේහයන් කඩිනමින් ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චි මහතා වෙත නියෝග කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා සවිස්තරාත්මක විමර්ශන වාර්තාවක් ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මෙහිදී පොලිසියට දැනුම් දී තිබේ.
