නාමල්ගෙන් සජිත්ට ලියුමක්

කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය හරහා රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත විශේෂ ලිපියක් යොමු කරමින් නාමල් රාජපක්ෂ ඉල්ලා සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වහාම හමුවක් කැඳවන ලෙසයි.

රජයේ මෙම හිතුවක්කාරී ක්‍රියාව මඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවත්, මෙයට එරෙහිව සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් එක් පෙරමුණකට පැමිණීමේ අවශ්‍යතාවක් පවතින බවත් එම ලිපියේ සඳහන් වේ.

මන්ත්‍රීවරයා සිය ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ, මෙම වයස් සීමාව දීර්ඝ කිරීමේ සූදානම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය වැනි දේශීය හා ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන දැනටමත් සිය දැඩි අප්‍රසාදය සහ විරෝධය පළ කර ඇති බවයි.

එවන් බැරෑරුම් තත්ත්වයක් යටතේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයන් මෙන්ම අනෙකුත් සුදුසු දේශපාලන බලවේග ද එකම මේසයකට කැඳවා, නීතියේ ආධිපත්‍යය රැකගැනීම වෙනුවෙන් පොදු විරෝධතාවක් ගොඩනැගීමට මැදිහත් වන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලිපිය පහතින්

Author

Related Posts