පාස්කු ඉරුදින ප්රහාර මාලාව සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේට එරෙහිව සිදු කෙරෙන විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ඉවත් කර වෙනත් පරීක්ෂණ අංශයක් වෙත යොමු කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් අද (01) ප්රතික්ෂේප කර තිබේ.
සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේකර මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
අදාළ විමර්ශන වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂවරයා යටතෙන් ඉවත් කර වෙනත් ස්වාධීන විමර්ශන ඒකකයකට භාර දෙන ලෙසත්, ඒ හරහා සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කරන බවත් සැකකාර සුරේෂ් සලේගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ මහේස්ත්රාත්වරයා, ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්රතිපාදන යටතේ රඳවාගෙන සිටින සැකකරුවකු සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශන නිලධාරීන් වෙනස් කිරීමට හෝ එවැනි නියෝග නිකුත් කිරීමට මහේස්ත්රාත් අධිකරණයට නීතිමය බලයක් නොමැති බව පෙන්වා දෙමින් එම ඉල්ලීම ප්රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබේ.
එසේම, අපරාධ නඩු විධාන සංග්රහයේ 127 වන වගන්තිය යටතේ මහේස්ත්රාත්වරයා ඉදිරියේ රහස් ප්රකාශයක් ලබා දීමට සුරේෂ් සලේ මහතා කළ ඉල්ලීම ද අධිකරණය විසින් මෙහිදී ප්රතික්ෂේප කර ඇති අතර ඔහුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
