පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම සහ මරණීය තර්ජනය එල්ල කිරීම, යුතු අවහිරය ඇතුළු චෝදනා කිහිපයකට වැරදිකරුවන් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තිදෙනාට දඬුවම් නියම කිරීම ලබන ජූලි මස 28 වැනිදා දක්වා කල් තැබීමට බදුල්ල මහාධිකරණය ඊයේ (24) නියෝග කර තිබේ.
ඊයේ දින බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා, චමින්ද විජේසිරි සහ ඔහුගේ රියැදුරු වූ බන්දුල රත්නායක යන දෙදෙනා චෝදනා හතරකට වැරදිකරුවන් බවට තීන්දු කර ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ ඇමැති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරියකු වන රසික කරුණාතිලක නමැත්තා චෝදනා තුනකට වැරදිකරු බවට ප්‍රකාශ කර තිබේ.
ඊයේ දින නඩුව කැඳවූ අවස්ථාවේදී පළමු විත්තිකරු වූ රියැදුරු බන්දුල රත්නායක නැමැත්තා මේ වන විට මියගොස් ඇති බව අධිකරණයේදී අනාවරණය විය. ඒ අනුව සෙසු වැරදිකරුවන් සඳහා දඬුවම් නියම කිරීම ජූලි 28 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.
2019 වසරේ පෙබරවාරි මස 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී මෙම ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වී ඇත. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජිප් රථ පෙළකින් ගමන් කරමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත පොලිස් ජිප් රථයක් ඔවුන්ගේ වාහනය ඉස්සර කර යෑමට උත්සාහ කිරීම මෙම ගැටුමට මුල් වී තිබේ. ඉන් කුපිත වූ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අදාළ පොලිස් ජිප් රථයේ මඟ හරස් කර, එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට අයුතු ලෙස අවහිර කරමින් මරණීය තර්ජනය කර දරුණු ලෙස පහරදී තුවාල සිදුකර ඇති බව නඩු විභාගයේදී තහවුරු විය.
