විනිසුරුවරුන්, නීතිඥයින් හා රජයේ නිලධාරීන්ගේ වාහන පමණක් අධිකරණ භුමියට ඇතුල් කිරීමට අවසර ඇති තත්වය තුළ දැරියක ලිංගික දූෂණයට ලක්කිරීමේ චෝදනාවට ලක්වී සිටින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන පැමිණි වාහනය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණ භූමියට ඇතුල්කර උසාවිය අසලටම පැමිණ නවතා තිබුනේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා තිබේ.
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව භාරව සිටින අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් එම ඉල්ලීම කර ඇති අතර ඒ එම දැරිය දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ මාධ්‍යවේදී බිමල් රුහුණගේ විසිනි. ඔහුට අමතරව යූ ටියුබ්කරුවකු වන සුදත්ත තිලක්සිරි විසින්ද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් එම ඉල්ලීම සිදුකර තිබේ.
දැරියක ලිංගික දූෂණය කිරීම් පිළිබඳව වන එම නඩුව අද (ජුනි 26) කැඳවූ අවස්ථාවේදී පල්ලේගම හේමරතන අධිකරණය අසලට රැගෙන ආ වාහනය නීතිඥයින් හා රජයේ නිලධාරීන් අධිකරණ භුමියට ඇතුල්වන ඉදිරි දොරටුවෙන් පැමිණ නැති අතර විනිසුරුවරුන් අධිකරණයට ඇතුල් වන දොරටුවෙන් පැමිණ ඇති බව සැක කෙරේ.
එම නඩුව යළි අගෝස්තු මස 21 දක්වා කල් ගොස් ඇති අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත. එමෙන්ම ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරිය පැමිණ තිබේ.
සැකකාර පල්ලේගම හේමරතන වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස හා අනූජ ප්‍රේමරත්න පෙනී සිටි ඇති අතර අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයින් 15ක් පමණ පිරිසක්ද පෙනී සිට ඇත. මීට පෙර අවස්ථාවේදී පල්ලේගම හේමරතන වෙනුවෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයින් එමෙන් දෙගුණයකට වඩා වැඩි පිරිසක් පෙනී සිට තිබුණි.
