නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්ට එරෙහිව ජන අරගල සන්ධානයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ගිනෙස් වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් රාජ්‍ය නොවන පෞද්ගලික සමාගමකට රජයේ අනුග්‍රහය සැපයීම සහ මහජනතාවගෙන් මූල්‍ය වංචා සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාට එරෙහිව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ජන අරගල සන්ධානය අද (26) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම සන්ධානයේ ක්‍රියාකාරීන් පිරිසක් අද කොළඹ පිහිටි අල්ලස් කොමිෂන් සභා මූලස්ථානය වෙත පැමිණ මෙම ලිඛිත පැමිණිල්ල භාර දී ඇත.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ නියෝජිතයන් ප්‍රකාශ කළේ, අදාළ පෞද්ගලික සමාගමේ ව්‍යාපෘතියක් සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සිය නිල තත්ත්වය අවභාවිත කරමින් රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇති බවයි.

මීට අමතරව, මෙම ගිනෙස් වාර්තා වැඩසටහන පදනම් කරගනිමින් පවුල් 5,000කට ආසන්න සංඛ්‍යාවකින් රුපියල් 5,000 බැගින් රුපියල් කෝටි ගණනක අතිවිශාල මුදලක් නීතිවිරෝධී ලෙස එකතු කර ඇති බවට ද ඔවුහු චෝදනා කරති.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මෙසේ පවසා සිටියා.

” ජුනි 14 වෙනිදා ලෝකයේ වැඩිම ශිෂ්‍යන් පිරිසක් සහභාගී වුණ භරත නාට්‍ය වැඩමුළුව ලංකාවේ පැවත්වුවා කියලා ආණ්ඩුව ලොකු ප්‍රචාරයක් අරගෙන ගියා. මෙතනදි ලෝකයේ වැඩිම පිරිසක් සහභාගී වුණු භරත නාට්‍ය වැඩසටහනට හිමි ගිනෙස් වාර්තාව ලංකාවට ලැබුණා කියලා තමයි කිව්වේ. මේ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් තමයි මේකෙ ප්‍රධානත්වය අරගෙන තිබුණේ. ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඇතුළු රජයේ ප්‍රභලයින් කිහිපදෙනෙක්ම මේ වැඩේට ඇවිත් හිටියා.

මේ වැඩසටහන පැවැත්වුණේ රාජ්‍ය අනුග්‍රහය සහිතව.

හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සිදුවීමට අදාළ ගිනෙස් සහතිකයේ ලංකාවේ හෝ ලංකාවේ කිසිඳු රාජ්‍ය ආයතනයක හෝ ලංකාවේ පුද්ගලයෙක්ගේ නමක් නැහැ. මේ ගිනෙස් සහතිකයේ අයිතිය ලැබිලා තියෙන්නේ සංගමන් ග්ලෝබල් ඇකඩමි කියන ඉන්දියානු සමාගමට සහ ලංකාවේ තියන ඒ සමාගමේ ශාඛාවකට. නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් කොහොමද පෞදගලික ආයතනයක කටයුත්තකට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ? කියන එක තමයි අපේ පළවෙනි ප්‍රශ්නය.

අනිත් කාරණය තමයි මේ වැඩසටහනට ශිෂ්‍යයන් 5000ක් පමණ සහභාගි වුණා. ඒ අයගේ පවුල්වලින් රුපියල් 5000 බැගින් විශාල මුදලක් මෙතනදි එකතුකරලා තියනවා. ඊට අමතරව දැන් නැවත මේ ළමයින්ගෙන් ලෝගෝ එකකට කියලා රුපියල් 3450ක් සහතිකයට සහ 2350ක් බැගින් එකතු කරන්න යනවා. මේක පැහැදිලිවම මූල්‍ය වංචාවක්. මේ අම්මලා තාත්තලා දුෂ්කර ප්‍රදේශවල ඉඳන් තමන්ගේ ළමයා කොළඹ අරගෙන එන්න ඇවිත් මේ දවස් කිහිපයේ කොළඹ නවතින්න ආදී වශයෙන් විශාල මුදලක් වැය කරලා තියනවා. සමහර පවුල්වලට රුපියල් 30,000ක් විතර මේ වැඩේ වෙනුවෙන් වියදම් වෙලා තියනවා. හැබැයි අන්තිමට මේ ඔක්කොම කරලා තියෙන්නේ ඉන්දියානු සමාගමකට ගිනෙස් වාර්තාවක් ලබාදෙන්න.

අපි අද මේකට සම්බන්ධ වුණු නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ වැඩසටහනට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නේ කවර පදනමකින්ද සහ මේ අහිංසක දෙමාපියන්ගෙන් එකතුකරපු අතිවිශාල මුදල් ප්‍රමාණයට මොකද වුණේ කියලා රටට හෙළිදරව් කළ යුතුයි. අපි හිතනවා අනිත් පැමිණිලි වගේම කඩිනමින් අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙනුත් මැදිහත් වෙලා වගකිව යුත්තන් අධිකරණයට ගෙනියයි කියලා. “

Author

Related Posts