නීතිඥ සංගමය කළුකෝට්කාරයන්ට ස්පෙෂල් සැලකීම් ඉල්ලලා! රඛිත රාජපක්ෂ වෙනුවෙන් උසාවියේ කී අවධානයට ලක් නොවූ කතාවක්!

හරක් කටා නමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත හිටපු අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යවරයාගේ පුත්, නීතිඥ රඛිත රාජපක්ෂ අත්අඩංගුවට පත්වීම සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.

මේ සිදුවීමේදී සැකකරුවන්ගේ සෞඛ්‍ය තත්වය ගැන කියමින්, එය විශේෂ තත්වයක් ලෙස සලකා ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සමාජයේ විශාල පිරිසකගේ හාස්‍යයට ලක් විය.

එහෙත් අවධානය යොමු නොවු තව කරුණක් ඇත.

ඒ මේ සිදුවීම තුළ අධිකරණයේදී දිගහැරුණු තවත් එක් ඛේදනීය මෙන්ම හාස්‍යජනක තත්ත්වයක් වන්නේ, නීතිඥ වෘත්තිය සහ එහි වරප්‍රසාද පලිහක් කරගනිමින් නීතියෙන් රිංගා යාමට දැරූ උත්සාහයයි. විශේෂයෙන් නීතිඥ සංගමය වෙනුවෙන් යැයි කියමින් පැමණීම සටහන් කළ නීතිඥවරයෙකු එහිදී කරුනු දැක්වීය.

මෙහිදී දෙවන සැකකරු වන රඛිත රාජපක්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් පෙනී සිටියේ නීතිඥ ගුණරත්න වන්නිනායකය. ඔහු එහිදී කළුකෝට්කාරයන්ට විශේෂ සැලකීම් ඉල්ලා සිටීම විශේෂත්වයකි.

ඔහු ප්‍රකාශ කලේ, වෙනත් අපරාධවලට අදාලව අත්අඩංගුවට ගැනීම්වලදී දූරකථනයෙන් අමතා නීතිඥවරුන්ට පැමිණෙන ලෙස විමර්ශන නිලධාරීන් දැනුම් දෙන බවය. එසේ ගෙන්වා අත්අඩංගුවට ගැනීමක් සිදු කරනවා නම් එසේ කරන බව ඔහු කීය. මෙම සිදුවීමේදී හමුදාවෙන් වාගේ පැන, රැගෙන ගොස් ඇති බවත් ඔහු කියා තිබුණි. එසේ සැලකීම නීතිඥ වෘත්තියට නොගැලපෙන බව ගුණරත්න වන්නිනායක නීතිඥවරයාගේ තර්කය වී තිබුණි.

අපරාධයකට අදාළව, විශේෂයෙන්ම පාතාලය සමග සෘජු මුදල් ගනුදෙනුවක් කළ බවට චෝදනා ලබන සැකකරුවෙකු වෙනුවෙන් රටේ නීතිඥ ප්‍රජාව නියෝජනය කරන නිල සංගමයම පෙනී සිටීම බරපතළ සදාචාරාත්මක ගැටලුවකි. එයින් පසු විශේෂ සැලකීම් කළු කෝට් එක වෙනුවෙන් ඉල්ලා සිටීම තවත් ප්‍රශ්නයකි.

නීතිඥයෙකු අතින් නීතිය කැඩීම සාමාන්‍ය පුරවැසියෙකු අතින් සිදුවනවාට වඩා බරපතළය. එවැනි තත්ත්වයක් තුළ නීතිඥ සංගමය කළ යුත්තේ තම වෘත්තියේ ගෞරවය කෙලෙසූ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට සහාය වීම මිස, “වෘත්තීය සහෝදරත්වය” වෙනුවෙන් අපරාධ චෝදනා ලද්දන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම නොවේ.

“මට හෙට නඩු තියෙනවා”

රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාද සිය සේවාදායකයාට ඇප ඉල්ලා සිටීම සඳහා ගෙන ආ තර්කවලද නීතිඥ වෘත්තිය වෙනුවෙන් විශේෂ සැලකීම් ඉල්ලා තිබුණි.

ඔහු අධිකරණයට ප්‍රකාශ කළේ තම සේවාදායකයා වෘත්තියෙන් නීතිඥවරයෙකු බවත්, ඔහු භාරගත් නඩු විශාල සංඛ්‍යාවක් විවිධ අධිකරණවල පවතින බවත්ය.

ඔහු රිමාන්ඩ් භාරයට පත්වුවහොත් එම නඩුවලට පෙනී සිටීමට නොහැකි වන බවත්, ඊළඟ දිනයේ ද ඔහුට නඩුවකට පෙනී සිටීමට ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

නමුත් ඊට පිළිතුරු දෙමින්, “මේ සැකකරු ඇයි හෙට බන්ධනාගාරයේ සිට එන්න ඕනෑ?” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේය.

අපරාධයක් කළද “මා නීතිඥයෙකි, මට හෙට නඩු ඇත” යන්න නීතියෙන් සහ දඬුවමෙන් ගැලවීමට හෝ ඇප ලබා ගැනීමට ඇති “සුවිශේෂී කරුණක්” ලෙස යොදාගැනීමට දරන උත්සාහය ඇත්තෙන්ම ගැටලු සහගතය.

නීතිය සැමට සමාන නම්, වෛද්‍යවරයෙකුට “හෙට මට ශල්‍යකර්මයක් ඇත” කියා හෝ ගුරුවරයෙකුට “හෙට මට උගන්වන්නට ඇත” කියා අපරාධ චෝදනාවකින් ඇප ඉල්ලිය නොහැකි සේම, නීතිඥයෙකුට ද තම වෘත්තිය සහ සේවාදායකයන් පලිහක් කරගත නොහැක.

හිටපු බන්ධනාගාර ඇමතිගේ පුතාට බන්ධනාගාරයම එපා වීම

රඛිත රාජපක්ෂට ඇප ඉල්ලීමට යොදාගත් තවත් ප්‍රධාන කරුණක් වූයේ බන්ධනාගාරවල පවතින ඉඩකඩ සහ පහසුකම් පිළිබඳ ගැටලුවයි.

රඛිත රාජපක්ෂට “ස්ලීප් ඇප්නියා” නමැති රෝගී තත්ත්වයක් ඇති බවත්, එම රෝගී තත්ත්වයෙන් පසුවන පුද්ගලයෙකු බන්ධනාගාරය තුළ රැඳී සිටීම සුදුසු නැති බවත්, ඒ නිසා ජීවිත අවදානමක් පවා ඇතිවිය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය. සාමාන්‍ය සැකකරුවෙකු වෙනුවෙන් කරුණු දක්වමින් බන්ධනාගාරවල අඩුපාඩු පෙන්වාදීම අසීරු බව කී නීතිඥවරයා කියා සිටියේ එවැනි සැකකරුවෙකු බන්ධනාගාර පද්ධතියේ අඩුපාඩු පෙන්වා දුනහොත්, බන්ධනාගාරයේදී නරක සැලකීම්වලට ලක් විය හැකි බවත් කියා සිටියේය. ඔහු එහිදී ප්‍රකාශ කළේ සිරකරුවන් 10,000ක් පමණ සිටිය යුතු තැන 40,000ක් පමණ සිටින බවයි.

හිටපු බන්ධනාගාර විෂය භාර ඇමති කෙනෙකුගේ පුතා බන්ධනාගාරගත වීමට පෙර, ඔහු වෙනුවෙන් මෙවැනි කරුණු දැක්වීම විහිළු සහගතය. මේ ගැටලු විසදන්නට තාත්තා විජයදාස රාජපක්ෂට අවස්ථාව තිබුණි. රඛිතගේ පියා ඇමතිවරයාව සිටි සමයේදීම බන්ධනාගාරයේ තදබද නැති කරන්නට තිබුණි.

ඔහුට යන්ත්‍රයක් (CPAP) අවශ්‍ය බවත්, බන්ධනාගාරයේ ඊට පහසුකම් නැති නිසා ජීවිත අවදානමක් ඇති බවත් අධිකරණයේදී තර්ක කෙරිණි.

බන්ධනාගාරවල තදබදය සුවිශේෂී තත්වයක් නොවන බව පදනම් වෙමින් මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබුණි. සියලු සැකකරුවන්ට දැන් එය සාමාන්‍ය තත්වයක් වී තිබේ.

නීතිඥ වෘත්තිය වෙනුවෙන් පළදින කළු කබාය යනු අපරාධ වසාගැනීමට ඇති කබායක් නොවේ. තමන් නීතිඥයෙකු වූ පමණින් අල්ලස් ගෙන පාතාලයට උදව් කළද නීතියෙන් විශේෂ වරප්‍රසාද ලැබිය යුතුය යන මානසිකත්වය ජනාධිපති නීතිඥවරුන්ගේ සහ නීතිඥ සංගමයේ මැදිහත්වීම හරහා පැහැදිලිව පිළිඹිබු වේ.

හිටපු බන්ධනාගාර අමාත්‍යවරයාගේම පුත්‍රයාට අද තමන්ගේ පියා යටතේ පැවති බන්ධනාගාරවල සෞඛ්‍ය පහසුකම් සහ ඉඩකඩ නැති බව කියමින් ඇප ඉල්ලන්නට සිදුවීම දෛවයේ සරදමක් බව යළි අවධාරණය කළ යුතුය. සාමාන්‍ය ජනතාව සුළු වැරදිවලට පවා හිරේ ගොස් මේ කියන 40,000ට එක්වී අපාදුක් විඳිද්දී නොදැනෙන මානව හිමිකම් සහ පහසුකම්, ඇමති පුතුන් සහ ධනවතුන් හිරේ යන විට පමණක් නීතිඥයන්ට මතක් වීම පුදුම සහගතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading