ඊශ්‍රා­ය­ලය විසින් හිතා­ම­තාම පල­ස්තීන දරු­වන් ඉලක්ක කර­මින් සමූලඝාතන සිදු කරනවා – එක්සත් ජාතීන්ගේ කොමිසමෙන් ආන්දෝලනාත්මක වාර්තාවක්

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ වෙසෙන පලස්තීන ළමයින්ව හිතාමතාම ඉලක්ක කර ගනිමින් සමූලඝාතන (Genocide) ක්‍රියාවන් අඛණ්ඩව සිදු කරගෙන යන බව එක්සත් ජාතීන්ගේ ස්වාධීන පරීක්ෂණ කොමිසම (UN Commission of Inquiry) විසින් අනාවරණය කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් UN News සහ CNN වැනි විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබේ.

පසුගිය අඟහරුවාදා ජිනීවා නුවරදී ප්‍රකාශයට පත් කරන ලද පිටු 100කින් යුත් විශේෂ වාර්තාවක් මගින් මෙම තොරතුරු හෙළිදරව් කර ඇත. පසුගිය වසරේදී ද ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව සමූලඝාතනයක් සිදු කර ඇති බවට මෙම කොමිසම නිගමනය කර තිබුණි. කොමිසමේ නවතම වාර්තාවට අනුව, ඊශ්‍රායල මිලිටරි ක්‍රියාන්විතයන් හේතුවෙන් පලස්තීන ළමයින්ට පෙර නොවූ විරූ මරණ, බරපතල තුවාල සහ දැඩි මානසික කම්පනයන් අඛණ්ඩව සිදුවෙමින් පවතී.

ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වූ පසුව පවා ළමයින් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම, පලස්තීන ජනතාව විනාශ කිරීම සඳහා ඊශ්‍රායල බලධාරීන් තුළ පවතින සමූලඝාතන චේතනාවේ ප්‍රධාන දර්ශකයක් බව කොමිසම පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ස්වාධීන පරීක්ෂණ කොමිසමේ සභාපති ශ්‍රීනිවාසන් මුරලිධර් මහතා ප්‍රකාශ කර ඇත්තේ, 2025 ඔක්තෝබර් මාසයේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පවා පලස්තීන ළමයින් මියයාම සහ බරපතල තුවාල ලැබීම තවදුරටත් සිදුවන බවයි. සටන් විරාම ගිවිසුම් මෙන්ම ජාත්‍යන්තර නීතිය යටතේ ළමයින්ට හිමිවිය යුතු ආරක්ෂාව පිළිබඳව ඊශ්‍රායලය පැහැදිලි ලෙසම නොසලකා හරිමින් කටයුතු කරන බව මෙයින් මනාව පැහැදිලි වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, තමන් සමූලඝාතනයක් සිදු කරන බවට එල්ල වන චෝදනා ඊශ්‍රායල රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. එක්සත් ජාතීන්ගේ මෙම නවතම වාර්තාව ප්‍රකාශයට පත්වීමත් සමග ඊශ්‍රායල නිලධාරීන් එය දැඩි ලෙස හෙළා දැකීමට පියවර ගෙන තිබේ.

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ, මෙම වාර්තාව මීට පෙර නිකුත් වූ ඒවා මෙන්ම, රටක් ලෙස ඊශ්‍රායලය අපකීර්තියට පත් කිරීම සඳහා නිර්මාණය කළ අතිශය නින්දිත ප්‍රචාරක ලියවිල්ලක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු අනුග්‍රහය ඇතිව පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇති කරගත් සටන් විරාම ගිවිසුම මගින් ගාසා තීරයේ වසර දෙකක් තිස්සේ පැවැති යුද්ධය නිමා කෙරුණ ද, එමගින් සතුරුකම් සම්පූර්ණයෙන්ම නතර නොවී, යම් මට්ටමකට අඩු වීමක් පමණක් සිදු වූ බව මෙම වාර්තාවේ සඳහන් වේ. සටන් විරාමයෙන් මාස අටක් ගතවී ඇතත්, ඊශ්‍රායලය තවමත් ගාසා තීරයට දිනපතාම පාහේ ගුවන් ප්‍රහාර එල්ල කරන අතර, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව එම ප්‍රහාරවලින් ළමයින් 250කට වැඩි පිරිසක් ඇතුළුව පලස්තීන වැසියන් 1,000කට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Author

Related Posts