පසුගිය 2026 ජූනි 17 වන දින නුවරඑළිය හෝටලයක් තුළදී භෞතචිකිත්සකවරියක ඝාතනය කර, ඇගේ මෘත ශරීරය මෝටර් රථයක දමා තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් දමා පළාගිය ප්‍රධාන සැකකාර පෙම්වතා සහ ඔහුගේ බිරිඳ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් යාපනයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන්ට පළායාමට ආධාර අනුබල දුන් මෝටර් රථ රියදුරෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය පවසයි.
සිද්ධියෙන් පසු සැඟව සිටි මියගිය කාන්තාවගේ පෙම්වතා වන 43 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ 35 හැවිරිදි බිරිඳ 2026 ජූනි 24 වන දින අළුයම් කාලයේදී යාපනය ප්‍රදේශයේදී පොලිස් දැලට කොටු කර ගැනීමට වලාන දූෂණ මර්ධන ඒකකය සමත්ව ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මෙරට අධිකරණ කිහිපයකින්ම වංචා චෝදනා එල්ල වී වරෙන්තු ලබා සිටි, විවාහ පොරොන්දු දී කාන්තාවන් රවටන දරුණු ගණයේ වංචාකරුවෙකු බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
ඔහුට එරෙහිව දැනට විභාග වන නඩු සහ වංචා කර ඇති මුදල් ප්‍රමාණයන් මෙසේය.
- ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය: විවාහ වන බව පවසා රුපියල් 11,873,000 ක (එක්කෝටි දහඅට ලක්ෂයකට අධික) මුදලක් වංචා කිරීම සහ මෝටර් රථයක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම.
- අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය (නඩු 2ක්): විවාහ පොරොන්දු මත කාන්තාවන්ගෙන් රුපියල් 1,721,000 ක් සහ රුපියල් 1,376,000 ක් බැගින් වංචා කිරීම.
- තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය: විදේශ රටවලින් වාහන ගෙන්වා දෙන බව පවසා රුපියල් 2,200,000 ක මුදලක් වංචා කිරීම.
- අලුත්කඩේ අධිකරණය (CID නඩුව): විදේශගත කරන බව පවසා රුපියල් 4,200,000 ක මුදලක් වංචා කිරීම.
මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මොහුට එරෙහිව අලුත්කඩේ, හොරණ සහ කඩුවෙල යන අධිකරණවල තවත් නඩු 4ක් පවරා ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය, ඝාතනය සම්බන්ධ වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු සඳහා නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
