ගුවන් හමුදාවට ඇමරිකාවෙන් හෙලිකොප්ටර් යානා – ද්විපාර්ශ්වික ගිවිසුමකට ද අත්සන් කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10, නිල වශයෙන් භාර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අද (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපතිවරයා ගුවන් හමුදා උත්තමාචාර සහිතව පිළිගන්නා ලදී.

මෙහිදී ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීමද සිදු කෙරුණු අතර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදා ආඥාපති ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් (General Kevin Schneider) යන මහත්වරුන් විසින් ඊට අත්සන් තබා ඇත.

මෙම TH-57 ‘සී රේන්ජර්’ යානා සතු බහුකාර්ය හැකියාවන් හේතුවෙන් ඉදිරියේදී ඒවා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට අපේක්ෂා කෙරෙන බව පැවසේ.

මෙම යානා මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු පුහුණු ධාරිතාව සහ ගුවන් මෙහෙයුම් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම TH-57 බළඇණිය මගින් ආපදා සහන සේවා, සෙවීම් සහ මුදාගැනීම් මෙන්ම හදිසි මහජන සේවා කටයුතු සඳහා ද විශාල සහායක් හිමි වේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ගුවන් කාර්ය මණ්ඩල පුහුණු කිරීමද මෙමඟින් සිදු කෙරෙන අතර, එය ගෝලීය සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇති බව රජය පවසයි.

ඇමරිකාවේ සිට විශේෂ භාණ්ඩ ප්‍රවාහන පහසුකම් ඔස්සේ 2026 ජූනි 01වන දින ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම යානා, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ඉංජිනේරු අංශයේදී එකලස් කෙරුණු අතර, ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් සීමාවට සහ දේශගුණයට ගැළපෙන පරිදි සිදු කෙරෙන සියලුම තාක්ෂණික පරීක්ෂණ සහ අත්හදා බැලීමේ පියාසැරිය අවසන් කිරීමෙන් පසුව නිල මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading