ග්‍රාම නිලධාරිවරුන් වෙත නිර්දේශ වී ඇති ඉන්ධන දීමනාව ලබාදෙන තුරු සඳුදා දින සිදුකරන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීමෙන් වැළකීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවල අද (ජුනි 24) සිට නියැලෙන බව ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.
එම වෘත්තීය ක්‍රියාමර්ග අතර මාසික කොට්ඨාශ දින රැස්වීම හැර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කැඳවනු ලබන අනෙකුත් සියලු රැස්වීම් සහ විවිධ වැඩසටහන් සඳහා වන කැඳවීම් වර්ජනය කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීම මාසයකට දින දෙකකට සීමා කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නොවන සියලුම රැස්වීම්, ජංගම සේවා, උත්සව හා අනෙකුත් කටයුතුවලට සහභාගි වීමෙන් වැළකීම, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් සියලු වැඩසටහන් සඳහා සහයෝගය ලබානොදීම ආදිය වේ.
සිය ගැටලුව සඳහා සාධාරණ විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවල දෙවන පියවර වශයෙන් දැව, ඉඩම්, මරණ වාර්තා නිකුත් කිරීම් වැනි අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල රාජකාරිවලින් ඉවත් වන බවද ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර තිබේ.
