නෙදර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ණය පදනම මත ලබා දී තිබූ සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගනිමින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (23) අවසන් කරන ලදී.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැති මෙම විභාගයේදී පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දුන්නේ අදාළ වාහනය වසර 5ක පමණ කාලයක් අවභාවිත කිරීමෙන් අමාත්‍යවරයා මහජන භාරය උල්ලංඝනය කර ඇති බවත්, ඔහු මීට පෙර අල්ලස් කොමිසම පැවරූ අපරාධ නඩුවේදී ද මීට අදාළ දූෂණ චෝදනාවලට වරද පිළිගෙන ඇති බවත්ය.
හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ රුවන්ත කුරේ මහතා මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය. අමාත්‍යාංශය තුළ ප්‍රමාණවත් වාහන පහසුකම් නොතිබීම හේතුවෙන්, අමාත්‍යාංශ ලේකම්වරියගේ නියෝගයකට අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මුදාහළ මෙම වාහනය හිටපු අමාත්‍යවරයා භාවිත කළේ රාජකාරි කටයුතු සඳහා පමණක් බව ඔහු කියා සිටියේය.
මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පෙන්වා දුන්නේ මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් මහාධිකරණය හමුවේ ගොනු කළ දූෂණ චෝදනාවලට වගඋත්තරකරු වරද පිළිගෙන වැරදිකරු වී ඇති පසුබිමක, මෙම වගකීමෙන් බැහැර විය හැක්කේ කෙසේද යන්නයි.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් ලබා දෙමින් මෙම නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයකින් තොරව කල් තැබීය.
