හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල්වඩම් තැබීමේ සිද්ධියට අදාළ නඩුව සැප්තැම්බර් 14 වැනිදාට කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පසුගිය 22 වැනිදා නියෝග කර තිබේ.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළ සැකකරු වන වෛද්‍ය චමල් සංජීව අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
එහිදී සැකකාර චමල් සංජීව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මර්වින් ද සිල්වා මහතා මෙම සිදුවීම තුළ කිසිදු අපරාධමය වරදක් සිදුව නොමැති බවට අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත. එලෙස අපරාධමය වරදක් සිදුව නොමැති නම් අදාළ සැකකරු, සැකකරුවෙකු ලෙස නම් කළේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා එහිදී කුරුඳුවත්ත පොලීසියෙන් ප්‍රශ්න කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු අපරාධමය වරදක් සිදුව නොමැති බව විත්ති පාර්ශවයේ නීතිඥවරයා පැවසුවද, කුරුඳුවත්ත පොලීසිය ප්‍රකාශ කළේ ඒ පිළිබඳව විමසීමට විමර්ශන ගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, දණ්ඩ නීති සංග්‍රහයේ 433 සහ 486 වගන්ති යටතේ පැමිණිලි ගොනු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කරමින් නඩුව සැප්තැම්බර් 14 වැනිදාට කල් තැබීය.
කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස ඉදිරිපිට මල්වඩමක් තබමින් සපරාධි බිය ගැන්වීමක් හා අපහාසයක් සිදුකර ඇති බවට ඔහුගේ දියණිය වන නයනිකා රඹුක්වැල්ල විසින් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
