කථානායකට එරෙහි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම කල් යයි..

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න ඔහුගේ වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කථානායක ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුලි 20 වැනිදා කැඳවීමට නියෝග කර ඇත.

ඒ එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ අද (ජුනි 19) කැඳවූ අවස්ථාවේදීය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට සූදානම් බව කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇති අතර වගඋත්තරකාර කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ කනගීස්වරන් කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එම පෙත්සම පවත්වාගෙන යෑමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් ඔහු මූලික විරෝධතා දක්වන බවයි.

ඊට අමතරව වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින ඇමතිවරුන් වන බිමල් රත්නායක හා අනිල් ජයන්ත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හච් හා තවත් වගඋත්තරකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එම නඩුකරය සම්බන්ධයෙන් ඔවුන්ද මූලික විරෝධතා මතුකරන බවයි.

Author

Related Posts