2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුර සහ එහි සාක්ෂි වසන් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති අපරාධ නඩුව ඊයේ (18) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශ්වය විසින් මතු කර ඇති මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන පැවැත්වීමට නියමිතව තිබුණද, කරුණු දැක්විය යුතු පාර්ශ්වයන්ගේ අනුපිළිවෙල සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ නීතිඥවරුන් අතර නීතිමය තර්ක විතර්ක මතු වී තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතා අධිකරණයට දන්වා ඇත්තේ තමන් කරුණු දැක්වීමට ප්‍රථමයෙන් පැමිණිලි පාර්ශ්වය වන නීතිපතිවරයා සිය දේශන ඉදිරිපත් කළ යුතු බවයි.
එහෙත් ඊට දැඩි විරෝධය පළ කළ පැමිණිලි පාර්ශ්වය නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ සාමාන්‍ය අධිකරණ ක්‍රියා පටිපාටියට අනුව මූලික විරෝධතාවක් මතු කරනු ලබන පාර්ශ්වය විසින්ම ප්‍රථමයෙන් ඒ සඳහා කරුණු දැක්වීමේ වගකීම දැරිය යුතු බවයි.
මෙලෙස දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ නීතිමය තර්ක සහ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ වාචික දේශන පැවැත්වීම සඳහා ලබන ජූලි මස 07 වැනිදා දිනය නියම කිරීමට පියවර ගත්තේය.
2016 පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ජනාධිපති විදුහල අසලදී සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා පදවාගෙන ගිය යතුරුපැදියේ WP KT-7545 දරන සුඛෝපභෝගී රථය අපරික්ෂාකාරී ලෙස ගැටී බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු වාහනය නොනවත්වා ධාවනය කිරීම ඇතුළු චෝදනා මත මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුව යටතේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව ප්‍රධාන චෝදනා තුනක් ගොනු කර ඇති අතර, ඉන් පළමු චෝදනාව එල්ල කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 329 වගන්තිය සහ මෝටර් රථ ආඥා පනතේ 151 වගන්තිය ප්‍රකාරව බරපතළ රිය අනතුරක් සිදු කර ඒ පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීම සහ තුවාලකරු රෝහල්ගත කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙනි.
මෝටර් රථ ආඥා පනතේ 161(1)(අ)(iii) වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙවැනි චෝදනාව එල්ල වී ඇති අතර, ඊට අදාළ දඬුවම් පනතේ 214 හෝ 224 වගන්ති යටතේ පැනවිය හැකි බව පැමිණිල්ල පෙන්වා දෙයි.
මීට අමතරව, මෝටර් රථ ආඥා පනතේ 161(1)(අ)(iv) වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තුන්වැනි චෝදනාව ගොනු කර ඇති අතර, එම වරද සඳහා වන දඬුවම් පනතේ 161(1)(අ)(V) හෝ 214 වගන්තිය යටතේ ක්‍රියාත්මක වන බව පැමිණිලි පාර්ශ්වය අධිකරණයට සැලකර සිටියේය.
