දිවයිනට දැඩි බලපෑමක් එල්ල කළ ‘දිට්වා’ සුළිකුණාටුවෙන් සිදු වූ විනාශයෙන් මාස හයකටත් අධික කාලයක් ගතවී ඇති පසුබිමක, ඉන් හානියට පත් පාසල් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පියවර ගෙන තිබේ.
ජුනි 09 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර තිබේ. ‘දිට්වා’ සුළිකුණාටුවෙන් ආපදාවට පත් ඌව, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල මහජන නියෝජිතයින්, අධ්‍යාපන බලධාරීන් සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.
ව්‍යසනයක් සිදුවූ වහාම ගතයුතු ක්‍රියාමාර්ග මෙලෙස මාස හයක් වැනි දිගු කාලයක් ප්‍රමාද වී ගැනීම පිළිබඳව මේ වන විට සමාජය තුළ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.
“දිට්වා සුළිකුණාටුවෙන් පසු පළාත් සභා හරහා විවිධ තොරතුරු එක්රැස් කිරීමට නිලධාරීන්ට සිදුව තිබෙනවා. අමාත්‍යංශය ඒ පිලිබඳ අවධානයෙන් කටයුතු කර එම දත්ත ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. හානියට පත් පාසල්වල දරුවන් වෙනත් පාසල්වලට අනුයුක්ත කළ පමණින් සියල්ල නිවැරදි වෙන්නේ නැහැ. ඒ දරුවන් නිවැරදිව පාසලට පැමිණෙනවාද? අධ්‍යාපනය ලබනවාද? ඔවුන්ට මුහුණ දෙන්න වෙන දුෂ්කරතා මොනවද? කියලා පසු විපරමක් සිදු කරන්න අවශ්‍යයි”
අගමැතිනිය පවසන මෙම කතාව ප්‍රතිපත්තිමය වශයෙන් නිවැරදි වුවද, ප්‍රායෝගිකව එය ප්‍රකාශ කරන කාල වකවානුව හාස්‍යයට කරුණකි. පාසල් විනාශ වීම නිසා වෙනත් විකල්ප ස්ථාන කරා යොමු කළ දරුවන්, පසුගිය මාස 6 තිස්සේ මුහුණ දුන් දුෂ්කරතා සෙවීමට මෙතරම් කලක් ගතවීම කණගාටුවට කරුණකි. විශේෂයෙන්ම වතු ආශ්‍රිත, දුෂ්කර පළාත්වල දරුවන් ප්‍රවාහන අපහසුතා, පොත්පත් අහිමිවීම් සහ මානසික කැලඹීම් මැද අන්ත අසරණව සිටියදී, බලධාරීන් පසු විපරම් ගැන කතා කරන්නේ දරුවන් වාර විභාගවලට පවා මුහුණ දී අවසන් වූ පසුව වීම කනගාටුවට කරුණකි.
