හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආරම්භ කළ දින සිට මේ දක්වා හම්බන්තොට මහ නගර සභාව වෙත ගෙවිය යුතුව තිබූ රුපියල් කෝටි 25කට අධික වරිපනම් බදු මුදලක් පැහැර හැරීම හේතුවෙන් වරාය දේපළ තහනම් කිරීමට නගර සභාව පියවර ගෙන ඇතත්, ඊට එරෙහිව වරාය කළමනාකාරීත්වය අභියාචනාධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
පසුගියදා (09) පැවැති හම්බන්තොට මහ නගර සභා රැස්වීමේදී කරුණු දක්වමින් නගරාධිපති ඩී.ඒ. ගාමිණි මහතා මේ බව නිල වශයෙන් සභාවට අනාවරණය කර තිබේ.
චීන සමාගමක කළමනාකාරීත්වය යටතේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සේවා කටයුතු ආරම්භ කළ දින සිට මේ දක්වා මහ නගර සභාවට ගෙවිය යුතු වරිපනම් බදු මුදල් ගෙවීම වරාය පාර්ශවය විසින් දිගින් දිගටම පැහැර හැර තිබේ. මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා එක් වතාවකදී පමණක් යම් මුදලක් ගෙවීමට ඔවුන් පියවර ගෙන ඇතත්, වත්මන් තත්ත්වය වන විට නොගෙවූ බදු සහ දඩ පොලී ද ඇතුළුව සමස්ත හිඟ මුදල රුපියල් කෝටි 25 ඉක්මවා ගොස් ඇති බව නගරාධිපතිවරයා පවසයි.
හිඟ බදු මුදල් අය කරගැනීමේ මූලික පියවරක් ලෙස රුපියල් කෝටි 14 ක මුදලක් ඉලක්ක කර ගනිමින් මහ නගර සභා ආඥා පනත ප්‍රකාරව දේපළ තහනම් කිරීමේ රතු නිවේදන නිකුත් කිරීමට නගර සභා බලධාරීන් පියවර ගෙන තිබේ. නගරාධිපතිවරයා අවධාරණය කළේ කෝටි 14 ක මුදලට අමතරව ඉතිරි සියලු හිඟ බදු මුදල් ද වරාය පාර්ශවයෙන් නගර සභාවට අනිවාර්යයෙන්ම අය විය යුතු බවයි.
නගර සභාව විසින් දේපළ තහනම් කිරීමට නියෝග නිකුත් කිරීමත් සමඟ, ඊට විරෝධය පළ කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය කළමනාකාරීත්වය විසින් මහ නගර සභාවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇත. එහිදී දේපළ තහනම් කිරීමේ නියෝගයට එරෙහිව වාරණයක් ලබා ගැනීමට වරාය පාර්ශවය සමත් වී තිබේ.
