මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය – කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ තීරණය තමන් වෙත ලැබී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න අද (09) දින පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව මෙම පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නිගමනයට පැමිණ ඇත.

කථානායකවරයා විසින් සභාවට ඉදිරිපත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නිශ්චයනයට අනුව, පනත් කෙටුම්පතේ 14 වන වගන්තියෙන් යෝජිත 12(අ) වගන්තිය හැර සෙසු සියලුම විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, මෙම පනත් කෙටුම්පතේ මතභේදයට තුඩුදුන් වගන්තිය හැර සෙසු සියලුම වගන්ති පාර්ලිමේන්තුවේ පැමිණ සිටින මන්ත්‍රීවරුන්ගේ සරල බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති වුවද, එහි 14 වන වගන්තිය මඟින් ඉදිරිපත් කර ඇති 12(අ) නව වගන්තිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව අධිකරණය පෙන්වා දී තිබේ.

එබැවින්, අදාළ 12(අ) වගන්තිය වත්මන් කෙටුම්පතේ සඳහන් පරිදිම වෙනස් කිරීමකින් තොරව සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක විශේෂ බහුතර බලයක් අවශ්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නිශ්චය කර ඇත.

Author

Related Posts