පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කළ බව කියන සිද්ධියට අදාළව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමේදී, පොලිසිය ඇප දීමට විරුද්ධ වූ බවට කියා තිබේ.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව ඊට සහභාගී නොවූයේ මන්දැයි කමිටුව හමුවේදී විමසා තිබේ. ඊට ඍජු පිළිතුරක් ලබා දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා මෙසේ පැහැදිලි කර ඇත:
“පොලීසියට වුවමනාවක් තිබුණේ නෑ ඇප දීමට විරුද්ධ වෙන්න. ඉතින් අපි ඇවිල්ලා වැඩක් නෑනේ. ඒ නිසයි අපි ආවේ නැත්තේ.”
මෙම සාකච්ඡාවේ මුලදී පොලිසිය කමිටුවට ප්‍රකාශ කර තිබුණේ, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුට ඇප දීමට තමන් විරුද්ධ වූ බවයි.
කෙසේ වෙතත් පොලිසිය පැවසූ දෙය අසත්‍යයක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහත ප්‍රකාශයත් සමඟ තවදුරටත් මනාව තහවුරු විය.
පොලීසිය ඇප දීමට විරුද්ධ වූ බව බොරුවට කියද්දී පොලිසියේ ප්‍රකාශය බොරුවක් බව ළමාරක්ෂක අධිකාරඅිය පෙන්වා තිබුණි. ඒ මොහොතේ ජාතික ළමාරක්ෂක අධිකාරියට කමිටුව තුළදී දැඩි දෝෂදර්ශනවලට මුහුණ දීමට සිදුවිය. විශේෂයෙන්ම කමිටුවේ සිටි මන්ත්‍රීවරියක් ළමාරක්ෂක අධිකාරියට දැඩි ස්වරයෙන් අවවාද කරමින්, “අහන දේට විතරක් උත්තර දෙන්න” යැයි පවසමින් ඔවුන්ව විවේචනයට ලක් කර තිබේ.
මෙය වැදගත් වනුයේ, පල්ලේගම හේමරතන හිමිට එරෙහිව පොලීසියේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කරමින් සහ ඒ ගැන නෑසූ කන්ව සිටිමින් ජාතික ළමාරක්ෂක අධිකාරිය වැරදි කර ඇතැයි මෙම සාකච්ඡාවේදී අර්ථ නිරූපණය වී තිබීමය.
මෙම සාකච්ඡාවේදී මන්ත්‍රීවරියන් දිගින් දිගටම විමසා ඇත්තේ අදාළ නඩුව මහේස්ත්‍රාත් නිල කුටිය ඇතුළේ නොගෙන විවෘත අධිකරණයේ කැඳවූයේ ඇයිද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ළමාරක්ෂක අධිකාරිය පැහැදිලි කර ඇත්තේ, අදාළ දිනයේදී වින්දිත ළමයා අධිකරණයේ නොසිටි බවත්, සැකකරුගේ අයිතිවාසිකම් සලකා බැලීමේදී නඩුව නිල කුටියේ කැඳවීමේ අවශ්‍යතාවක් පැන නොනැගුණු බවත්ය.
මෙම නඩුව මහේස්ත්‍රාත් නිල කාමරයේදී කැදවීමට අවශ්‍යතාවක් නොතිබුණු අතර, මේ නඩුවේ ඇත්ත රටටම හෙළි වුණේ විවෘත අධිකරණයේදී නඩුව විමසූ නිසාය. මාධ්‍ය එය වාර්තා කළේද ඒ නිසාය. සමාජ සාකච්ඡාවක් ඇති වුණේද ඒ නිසාය. කුඩා දැරියක අතවරයට ලක් වීම සම්බන්ධයෙන් සමාජ සාකච්ඡාවක් ඇති වීම මන්ත්‍රීවරියන්ගේ සංසදයට ප්‍රශ්නයක් වන්නේ ඇයි?
