2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරනු ලබන පුළුල් විමර්ශන කටයුතු කඩාකප්පල් කිරීම සඳහා උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර යන දේශපාලන පසුබිමක් සහිත පුද්ගලයින්ගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක ප්රයත්නයක් දියත් වී ඇති බව අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරිණි.
පාස්කු ප්‍රහාරයේ මෙතෙක් සමාජයට හෙළි නොවූ සැබෑ දේශපාලන පසුබිම වසන් කිරීම මෙම බාධා කිරීම්වල ප්‍රධාන අරමුණ බවට විමර්ශකයෝ අධිකරණය හමුවේ කරුණු පෙන්වා දෙති.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත මෝසමක් මගින් කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කළේය.
සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂකවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පාස්කු ප්‍රහාරයේ සැඟවුණු කරුණු පිළිබඳව මෙම පුළුල් විමර්ශනය ක්‍රියාත්මක වේ.
මේ යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සාලේ නමැත්තා අත්අඩංගුවට ගත් දා සිටම විමර්ශන නිලධාරීන්ට කිසිදු සහායක් ලබා දී නොමැති බව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
විශේෂයෙන්ම, ඔහු සතු ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ දත්ත පරීක්ෂා කිරීමට අවශ්‍ය මුරපද ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, මේ හේතුවෙන් එම උපකරණවල ඇති තොරතුරු විශ්ලේෂණය කිරීම සම්පූර්ණයෙන්ම ඇණහිට ඇතැයි ඔවුන් කරුණු වාර්තා කරමින් පෙන්වා දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මොහොමඩ් මිහිලාර් මොහොමඩ් හන්සීර් නොහොත් අසාද් මවුලානා නමැති ප්‍රධාන සාක්ෂිකරුවාගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවද කරුණු වාර්තා කරමින් කියා තිබේ. පාස්කු ප්‍රහාරය සඳහා අන්තවාදීන් මෙහෙයවීමට සැකකාර සුරේෂ් සාලේ කටයුතු කළ ආකාරය පිළිබඳව අතිශය සංවේදී තොරතුරු රැසක් එම ප්‍රකාශය හරහා හෙළිදරව් වී ඇති බව අධිකරණයට වාර්තා කර තිබේ. තවද, එම ප්‍රකාශයේ අඩංගු කරුණු රැසක් මේ වනවිටත් ස්වාධීන සාක්ෂි සහ ලේඛන මගින් තහවුරු කර ගැනීමට විමර්ශකයන් සමත් වී ඇති බවද වාර්තා කර ඇත.
මෙම නව අනාවරණයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඊට නිසි පිළිතුරු ලබානොදුන් සැකකරු, විමර්ශන මගහැරීමේ සහ රෝහල්ගත වීමේ උපක්‍රමයක් ලෙස සැලසුම් සහගතව ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත. සිය බිරිඳ, පුත්‍රයා සහ සහෝදරයා ලබාදුන් ආහාර පවා ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත්, පොලිස් රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදුකළ පරීක්ෂණවලදී ඔහුගේ රුධිරයේ සීනි මට්ටම පහත වැටී ඇති බව තහවුරු වූ බැවින්, දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔහුව කොළඹ ජාතික රෝහලේ 14 වන වාට්ටුවට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරුගේ මෙම අගතිදායක හැසිරීමට සමගාමීව, ඉහත කී දේශපාලන කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ජාලා භාවිතා කරමින් මහජනතාව නොමග යවන සුළු දැවැන්ත ප්රචාරක ව්‍යාපාරයක් ගෙන යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
මෙම සංවිධානාත්මක පිරිස අසාද් මවුලානාගේ ප්‍රකාශය හුදු ප්‍රබන්ධයක් බවට සමාජගත කිරීමට උත්සාහ කරන අතර , විමර්ශන නිලධාරීන්ට එරෙහිව අසත්‍ය තොරතුරු පතුරුවමින් පොලිසිය කෙරෙහි මහජනතාව තුළ දැඩි අප්‍රසාදයක් ඇති කිරීමට සැලසුම් කර ඇත. මෙම තත්ත්වය හමුවේ ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යාමට සහ සාක්ෂිකරුවන්ට ඉදිරියට පැමිණීමට දැඩි බාධාවක් නිර්මාණය වී ඇති බව විමර්ශකයින් අධිකරණයට අවධාරණය කර ඇත.
