මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින ගැටුම් හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික පසුබෑම හමුවේ ශ්‍රී ලංකාවේ ලක්ෂ 60ක ජනතාවක් පෝෂදායි ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වීමේ අවදානමක සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි.
ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම විශ්ලේෂණ වාර්තාවට අනුව,දැනට සිටින ගණන් බලා සිටින පිරිසට අමතරව තවත් අතිරේක ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 13ක් පමණ මූලික හා පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට අපොහොසත් වීමේ අවදානමකට මුහුණ පා සිටී. මෙලෙස අලුතින් අවදානමට ලක්ව ඇති මිලියන 1.3 ක ජනතාව එකතු වන්නේ, මේ වසරේ දැනටමත් ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දෙනු ඇතැයි පුරෝකථනය කර ඇති මිලියන 4.7 ක් වූ ශ්‍රී ලාංකික ජනගහනයට අමතරව බැවින් සමස්තය මිලියන 6ක් වනු ඇතැයි පැවසේ.
ලෝක ආහාර වැඩසටහන මඟින් ප්‍රකාශයට පත් කරන ලද Food Security Under Pressure: How the Middle East Crisis Is Impacting Vulnerable Countries නම් වාර්තාවට අනුව, මෙම යුද්ධය හේතුවෙන් ගෝලීය වශයෙන් ආහාර, ඉන්ධන සහ පොහොර මිල ගණන් එක්වරම ඉහළ යාම, ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශීය ආර්ථික අර්බුදයෙන් තවමත් ගොඩ ඒමට උත්සාහ කරන පවුල් නැවත පිඩනයට පත් විය හැකි ආකාරය එමගින් පුරෝකථනය කරයි.
මැදපෙරදිග අර්බුදයෙන් එල්ල වන බාහිර ආර්ථික කම්පනවලට ශ්‍රී ලංකාව සෘජුවම ගොදුරු වීමට ප්‍රධාන හේතුව, රටේ වැදගත් ආර්ථික කුළුණු තුනක් සඳහා ගල්ෆ් කලාපය මත යැපීමට සිදු වීම බව මෙම එක්සත් ජාතීන්ගේ ආයතනය පෙන්වා දෙයි.

පළමුවැන්න බලශක්ති ආනයනය වන අතර, ශ්‍රී ලංකාව සිය සමස්ත බලශක්ති ආනයනයෙන් 63%ක් සඳහාම මැදපෙරදිග මත යැපෙන බැවින් මෙම ගැටුම හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාමත් සමඟ දේශීය ප්‍රවාහන හා නිෂ්පාදන පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
දෙවැන්න දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය ජීවනාලියක් වන විදේශ ප්‍රේෂණ (විදේශයන්හි සිට ලංකාවට එවන මුදල්) වන අතර, එයින් 44%ක් පමණ ලැබෙන්නේ ගල්ෆ් රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙනි.
තෙවැන්න ශ්‍රී ලංකාවේ තේ අපනයන වෙළෙඳපොළ වන අතර, රටේ සමස්ත තේ අපනයනයෙන් 45%කට ආසන්න ප්‍රමාණයක් ගල්ෆ් වෙළෙඳපොළ වෙත යොමු කෙරෙන බැවින්, පවතින ගැටුම්කාරී වටපිටාව හමුවේ වෙළෙඳ මාර්ග කඩාකප්පල් වීම දේශීය තේ නිෂ්පාදකයන් දැඩි අනාරක්ෂිත භාවයකට පත් කිරීමට හේතු වේ.
සම්පූර්ණ වාර්තාව පහතින්
