කපිලට මම කිව්වා, හෙට වහාම උසාවියට ඉදිරිපත් වෙන්න කියලා! – රියෙන්සි අර්සකුලරත්න සාක්කි දෙමින් කී කතාව

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විභාගය අද (05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැවැත්විණි. සිද්ධියට අදාළව සාක්ෂි මෙහෙයවීම කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත ලාල් මහතා විසින් සිදු කරන ලදී.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සාක්ෂිය 20 වැනි සාක්ෂිකරු ලෙස සාක්ෂි දුන්නේය. ඔහු මෙසේ පැවසීය.

“මියගිය කපිල චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවකදී මා ඔහු වෙනුවෙන් පෙනී සිටියා. එම නඩුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් මැයි මස 5 වන දා ඇප ලබා දුන්නා. ඇප ලබාදී මෙන් පසුව මම උසාවියේ හිර කූඩුව අසලට ගිහිල්ලා කපිල චන්ද්‍රසේනට ඇප කොන්දේසි ගැන පැහැදිලි කළා.

පසුව මැයි මස 06 වන දා ඇප ලබා පිටව ගිය බව ඔහු මට දැනුම් දුන්නා. මැයි මස 07 වන දා කපිල චන්ද්‍රසේනව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා කියලා මාධ්‍යවලින් ප්‍රචාරය වුණා. ඉන්පසුව ඔහු මට කතා කළා වගේ මතක යි. මම කිව්වා වහා ම අධිකරණයට ඉදිරිපත් වෙන්න ඕන කියලා. එදා සවස 7.00ට විතර උද්ගත වෙලා තිබෙන තත්ත්වය ගැන අරවින්ද ද සිල්වා මහතා දුරකතන ඇමතුමක් අරගෙන මට කතා කළා. මම කිව්වා මේක ටෙලිෆෝන් එකෙන් කතා කරන්න බැහැ ඇවිල්ලා හම්බවෙන්න කියලා. ඉන්පසුව පැයකින් හෝ පැය එක හමාරකින් පසුව අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳ සහ කපිල චන්ද්‍රසේනට ඇප තැබූ පුද්ගලයින් කීප දෙනෙකු මගේ නිල මැදිරියට ආවා. එහිදී අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ දුරකතනයෙන් මම කපිලට කතා කළා. මම ඔහුට උපදෙස් දුන්නා වහා ම අධිකරණයට ඉදිරිපත්වීම අවශ්‍ය බවට.”

2026 මැයි 05 වන දින පළමු සැකකරු වූ කපිල චන්ද්‍රසේනට රුපියල් ලක්ෂ 05ක මුදල් ඇපයක්, ශරීර ඇප දෙකක් සහ විදෙස් ගමන් තහනමක් නියම වූ බවත්, ඇපකරුවන් සතුව එම අවස්ථාවේ ග්‍රාම සේවා සහතික නොතිබූ බැවින් ඇප තැබීම ප්‍රමාද වූ බවත් අර්සකුලරත්න මහතා කීය. කෙසේ වෙතත්, මැයි 06 වන දින කපිල චන්ද්‍රසේන මහතා නිවසට පැමිණි බව දුරකථනයෙන් දැනුම් දී ඇති බව ඔහුගේ සාක්ෂියේදී ප්‍රකාශ කරන ලදී.

පසුව ඔහුගේ ඇප ප්‍රතික්ෂේප වී ඇති බවත්, නැවත වරෙන්තුවක් නිකුත් වී ඇති බවත් කනිෂ්ඨ නීතිඥවරයාගෙන් සහ ජනමාධ්‍යයෙන් දැනගන්නට ලැබී ඇත.

මැයි 07 වැනිදා සවස 7.00ට පමණ අරවින්ද ද සිල්වා මහතා දුරකථනයෙන් කතා කර ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කළ අතර, පසුව ඔහු, ඔහුගේ බිරිඳ සහ ඇප තැබීමට සිටි කිහිපදෙනෙකු ජනාධිපති නීතිඥවරයාගේ කාර්යාලයට පැමිණ ඇති බව අර්සකුලරත්න මහතා පිළිගත්තේය.

එහිදී අරවින්ද ද සිල්වාගේ බිරිඳගේ දුරකථනය හරහා කපිල චන්ද්‍රසේනට කතා කර, වහාම අධිකරණයට භාර වී සිදුවූ දේ පවසන ලෙසට ජනාධිපති නීතිඥවරයා උපදෙස් ලබා දී තිබේ.

නීතීඥ උදාර මුහන්දිරම් මහතා 19 වැනි සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබා දුන්නේය.

අදාළ නඩුව සම්බන්ධයෙන් තමන් ජනාධිපති නීතිඥවරයාගේ උපදෙස් මත ක්‍රියා කළ බව සාක්ෂිකරු අධිකරණයට දැන්වීය.

ඇප තැබීම සඳහා ‘ඉන්දික’ නමැත්තෙකු හරහා පුද්ගලයන් 04 දෙනෙකු පැමිණියද, නිවැරදි ග්‍රාම සේවා සහතික තිබී ඇත්තේ එක් අයෙකුට පමණක් බව ඔහු කීය. අනෙක් අයගේ සහතිකවල ගැටලු තිබූ බැවින් සම්පූර්ණ ඇප තැබීමට නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කළේය.

පසුව සැකකරුට වරෙන්තු නිකුත් වී ඇති බව මාධ්‍යයෙන් දැක ඇති අතර, මැයි 07 වැනිදා සවස කපිල චන්ද්‍රසේන මහතා ඔහුට දුරකථනයෙන් කතා කර ඇත. එහිදී ජනාධිපති නීතිඥවරයාගෙන් විමසා වැඩිදුර උපදෙස් ලබා දෙන බව උදාර මුහන්දිරම්ගේ පවසා තිබේ.

රියෙන්සි අර්සකුලරත්න මහතාගේ නිල මැදිරියේ මැයි 07 වැනිදා සවස පැවති සාකච්ඡාවට අරවින්ද ද සිල්වා සහ බිරිඳ පැමිණියද, කපිල චන්ද්‍රසේන එහි පැමිණ නොසිටි බවත්, තමා ඔහු සමඟ සෘජුව අදහස් හුවමාරු කර නොගත් බවත් නීතිඥවරයා තහවුරු කළේය.

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ලලිත් කුමාරසිරි බණ්ඩාර මහතා 23 වැනි සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබා දුන්නේය.

මරණය සිදුවූ ස්ථානය සහ ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන පිළිබඳව ස්ථානාධිපතිවරයා අධිකරණයට සවිස්තරාත්මකව කරුණු වාර්තා කළේය.

අරවින්ද ද සිල්වා මහතා විසින් තම නිවසේ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන ඇති බවට ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික ජංගම දුරකථනයට සහ පොලිස් ස්ථානයට දැනුම් දී ඇත.

උදෑසන 8.42ට පමණ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග ස්ථානාධිපතිවරයා අදාළ තෙමහල් නිවසට යන විට, පළමු මහලේ වම් පස කාමරයේ දොර විවෘත කර තිබී ඇත. එහිදී පුද්ගලයෙකු පුටුවක් මත හිස තබාගෙන, ගෙල සිරවී සිටින අයුරු නිරීක්ෂණය වී තිබේ.

අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳ, නීතිඥ ප්‍රියන්ත, ඩර්ඩන්ස් රෝහලේ වෛද්‍ය ලක්ෂානි ලියනගේ ඇතුළු කාර්ය මණ්ඩලය පළමු මහලේ සිට ඇත. බිම් මහලේ අරවින්දගේ මව වන රාණි ද සිල්වා සහ ඇයගේ උපස්ථායිකාව සිට තිබේ.

ස්ථානාධිපතිවරයා නිරීක්ෂණය කළ ආකාරයට කාමරය තුළ විදුලි බුබුළු දල්වා තිබී ඇති අතර දොරේ යතුරු දෙකක් තිබී ඇත.

මියගිය පුද්ගලයාගේ ගෙලෙහි ලා නිල් පැහැති පටියක් සිරවී තිබී ඇති අතර, බෙල්ල පිටුපසින් එහි මැහුම් ගැලවී ගොස් තිබී ඇත.

එම පටියට සමාන කොටසක්, නාන කාමරයේ දොරෙහි උඩ කොටසට තදවන සේ වසා තිබියදී ඉන් පිටතට එල්ලෙමින් තිබෙනු නිරීක්ෂණය වී තිබේ.

අදාළ කාමරයට මෙන්ම නාන කාමරයටද ඇතුළු වීමට තිබී ඇත්තේ එක් දොරක් බැගිනි. නාන කාමරයට වෙනත් කාමරයකින් පිවිසිය හැකි දොරක් තිබුණද එය වසා දමා තිබී ඇත. ජනෙල්ද වසා තිබූ අතර පිටස්තර පුද්ගලයෙකු ඇතුළු වූ බවට කිසිදු සාක්ෂියක් නිරීක්ෂණය වී නොමැත.

එම අවස්ථාවේ එහි සිටි වෛද්‍යවරිය විසින් ඒ වන විටත් අදාළ පුද්ගලයා මියගොස් ඇති බව තහවුරු කළ බව ස්ථානාධිපතිවරයා පැවසීය. අනතුරුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO), විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සහ නිල සුනඛ අංශය කැඳවා විමර්ශන ආරම්භ කළ බවත්, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අධිකරණයට කරුණු වාර්තා කළ බවත් ස්ථානාධිපතිවරයා පැවසීය.

විභාගයෙන් අනතුරුව 25 සහ 26 යන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගැනීම මීළඟ නඩු දිනයට කල් තැබිණි. නඩුව ලබන 09 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නියෝග කරනු ලැබීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading